නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
26 March 2025
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
26 March 2025
ජනවහරේ එන ඉහත කියමන අපට මතක් වූයේ පෙරේදා කියවන්නට ලැබුණු රාජ්‍යතාන්ත්‍රික යැයි කියන නිවේදනයක් නිසාය. මේ "යකාගේ නිවේදනය" නිකුත් කර තිබුණේ එක්සත් රාජධානිය, හරියටම කියන්නේ නම්, එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාලයයි. ඒ අනුව සිවිල් යුද්ධ කාලයේ සිදුකරන ලද බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජනයන් කරණ කොට අපේ රටේ පුරවැසියන් හතරදෙනෙකුට එක්සත් රාජධානිය සම්බාධක පනවා ඇති අතර, එහි ඇති ඔවුන්ගේ දේපළද තහනම් කර තිබේ.
මෙසේ තහංචි පැනවුණු හතරදෙනා වන්නේ නාවුක හමුදාපතිව සිටි වසන්ත කරන්නාගොඩ, යුද හමුදාපතිව සිටි ජගත් ජයසූරිය, යුද හමුදාපති හා ආරක්ෂක මණ්ඩල ප්‍රධානියාව සිටි ශවේන්ද්‍ර සිල්වා හා එල්ටීටීඊයේ නායකයකුව සිටි කරුණා අම්මාන්ය.
ත්‍රස්තවාදී ව්‍යාපාරයක නායකයකු වූ කරුණා අම්මාන්ව මොහොතකට පසෙකින් තබමු. ඉතිරි තිදෙනා ලෝකයේ භයානකම ත්‍රස්තවාදී ව්‍යාපාරයක් වූ කොටි සංවිධානයට විරුද්ධව අපේ රජය සාර්ථකව අවසාන කළ සටනේදී, රජයේ හමුදාවලට නායකත්වය දුන් තිදෙනෙකි. ලෝකේ ත්‍රස්තවාදයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කර ඇති බටහිර රටවල් අතර පෙරමුණේ සිටින එක්සත් රාජධානිය මේ කියන්නේ, කවදාවත් පරාජය කරන්නට නොහැකි යැයි බටහිර රටවල්ද සිතූ, කොටි ත්‍රස්තවාදය ශ්‍රී ලංකාව පැරැද්දූ විදිහ වැරදි බවය. ශ්‍රී ලංකා හමුදා යුද්ධ කර ඇත්තේ එක්සත් රාජධානි පොතේ හැටියට නොවේ!
ඔවුන් නොකියා කියන්නේ මානව හිමිකම් උල්ලංඝනය කරන්නේ හා අපයෝජනය කරන්නේ නැතුව යුද්ධ කරන හැටි ගැන මෙරට හමුදා එක්සත් රාජධානිය ඇතුළු බටහිර රටවලින් ටියුෂන් ගත යුතුව තිබුණු බවය. ඔවුන් දැනට එවැනි ආදර්ශමත් යුද්ධ පවත්වා ගෙන යන බැවිනි. එකක් ගාසා තීරයේය. 2023 ඔක්තෝබරයේ සිට මේ දක්වා එක්සත් රාජධානිය ඇතුළු බටහිර රටවල ආධාර ලබන ඊශ්‍රායල හමුදා, "මානව හිමිකම් ආරක්ෂා කරමින් හා අපයෝජනය නොකරමින්" පලස්තීනුවන් 50,000ක් මරා දමා තිබේ. ඉන් වැඩිදෙනා සටන්කාමීන් නොව නිරායුධ කාන්තාවන්, ළමයින් හා වැඩිහිටියන්ය. මේ අඩ ලක්ෂය මරා දැමුණේ ආචාර ධර්මානුකූලව බව අප දන්නේ එක්සත් රාජධානිය ඊශ්‍රායල් හමුදාවේ එකෙකුටවත් සම්බාධක පනවන්නට ඉදිරිපත් වී නැති බැවිනි.
එක්සත් රාජධානිය ඇතුළු බටහිර රටවල් තවත් ආචාර ධාර්මික යුද්ධයක් යුරෝපයේ ඈත කොණක සාර්ථකව පවත්වාගෙන යයි. කතාව පටන් ගන්නේ ලෝකේ බලවතෙකුගේ අල්ලපු වැටේ සිටින යුක්‍රේනයට, නැටෝ සංවිධානයේ සාමාජිකත්වය නමැති කැරට් අලය පෙන්වා ලෝක බලවතා අවුස්සා ගැනීමට උනන්දු කිරීමෙනි. ඊට පසුව ලෝකේ බලවතාගෙන් ඉල්ලන් කෑ යුක්‍රේනය අවුරුදු ගණනාවක් තිස්සේ අනවශ්‍ය යුද්ධයක පැටලී සිටියි. බටහිර බලවතුන්ගේ වුවමනා එපාකම් පිරිමැසීමට කෙරෙන බැවින් මේ යුද්ධයටද මානව හිමිකම් අදාළ නැත.
බටහිර රටවලට අවශ්‍ය වූ මොහොතේ යුද්ධය නවත්වා ගැනීමට නොහැකි වූ බැවින් ඊශ්‍රායලයට හා යුක්රේනයට බෙදන හැන්දෙන් ශ්‍රී ලංකාවට බෙදෙන්නේ නැත. ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා එක්සත් රාජධානියට තමන්ගේ නාගරික ඡන්දදායකයන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් බවට පත්වී ඇති දෙමළ ඩයස්පෝරාව පිනවන්නටද ඕනෑය. තමන්ද කොටස්කරුවන් වන යුද්ධවලට අදාළ නැති මානව හිමිකම් හා අපයෝජනයන් අවුරුදු දහසයකට කලින් කෙළවර වූ යුද්ධයකට අදාළ වන්නේ එතැනදීය.
එක්සත් රාජධානියේ මානව හිමිකම් පිළිබඳ කෝදුව අවශ්‍ය විට දිගු වන, අනවශ්‍ය විට කෙටිවන මැජික් කෝදුවකි. 2009 මැයි මාසයේ අවසන් වූ යුද්ධයේ නාවික හමුදාපතිවරයා මානව හිමිකම් උල්ලංඝනය කළ හා අපයෝජනය කළ කෙනෙකි. එහෙත් යුද ජයග්‍රහණයේ වන් ඇන්ඩ් ඔන්ලි හිමිකාරයා හැටියට අදටත් පෙනී සිටින යුද හමුදාපතිවරයාට ඒ චෝදනාව නැත. ඔහුගේ නම ඉදිරියේදී මැජික් කෝදුව කෙටි වූයේ, 2010දී බටහිර රටවල අපේක්ෂකයා හැටියට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ නිසා නොවේදැයි අප මෙහිදී අසන්නේ නැත.
එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර පළාත් නායකයා වූ කරුණා අම්මාන් යුද්ධය අතරමැදදී ආණ්ඩුව පැත්තට පීලි මාරු කිරීම නිසා ඔහු ද්‍රෝහියෙකු වී ඇත්තේ කොටින්ට පමණක් නොවන බව ඔහුට පනවා ඇති තහංචියෙන් පෙනේ. ඒ ප්‍රභාකරන්ගේ න්‍යායාචාර්යවරයාගේ බිරිඳ වූද, කොටි ළමා සොල්දාදුවන් බිහිකිරීමේ වින්නඹුව වූද ඇඩෙල් බාලසිංහම් අදටත් ලන්ඩනයේ නිදුකින් පසුවන බැවිනි. ළමා සොල්දාදුවන් බිහිකිරීමෙන් මානව හිමිකම් කඩවන්නේ හා අපයෝජනය වන්නේ නැද්දැයි ප්‍රශ්න කිරීමට වඩා මෙතැනට ගැළපෙන්නේ කන්නට හිතුණාම කබරගොයාත් තලගොයා වෙනවාය යන කියුමය.
සම්බාධකවලට ගොදුරු වී ඇති ඇතැම් හමුදා ප්‍රධානීන් මෙබඳු තත්ත්වයක් කවදාවත් බලාපොරොත්තු නොවන්නට ඇති බවද අපි දනිමු. ඒ ඔවුන්ගෙන් ඇතැමුන් හමුදාවේ සේවය කරද්දී වඩා වැදගත් කොට සැලකුවේ රටවත්, රාජ්‍ය නායකයාවත් නොව බටහිර රටවල තානාපතිවරුන් වන නිසාය. රැකියාවේ වගකීම්වලට වඩා ඔවුන් මුල් තැන දුන්නේ විශ්‍රාම යෑමෙන් පසු තමන්ට හා සිය දරුපවුලට පදිංචියට යා හැකි රටවල් ගැනය. දැන් ඉතින් වෙච්චි දේට මක්කොරන්නද?
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වා සේ සුද්දාගේ නිවේදනයේ රසවත්කම පෙනෙන්නේ අලුත් ආණ්ඩුව ගැන කියන තැනේදීය. ඒ "ජාතික සමගිය සඳහා ඔවුන්ගේ කැපවීම සාදරයෙන් පිළිගෙන මානව හිමිකම් සම්බන්ධයෙන් නව ශ්‍රී ලංකා රජය සමග කටයුතු කරන්නෙමු" යන වාක්‍යයේදීය. එල්ටීටීඊය සමග මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද්ධ කළ අවදියේ මහින්දට විශාල තල්ලුවක් සැපයූවේ එකල ජනතා විමුක්ති පෙරමුණේ නායකයාව සිටි සෝමවංශ අමරසිංහ ප්‍රමුඛ ඒ පක්ෂයේ නායකයන් බව එක්සත් රාජධානියට වුවද රහසක් වන්නට විදිහක් නැත. එහෙත් මේ කියන්නේ වෙනත් කතාවකි.
ජවිපෙ විපක්ෂයේ සිටි කාලයේ දැරූ අදහස් ආණ්ඩු බලය ලැබීමෙන් පසුව බරපතළ ලෙස වෙනස්වී ඇති අවස්ථා රට අත්දකිමින් සිටියි. ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කිරීමද ඇතැමුන්ගේ විවේචනයට ලක්වෙතත් එය නම් මේ අවස්ථාවේ කළ යුතුව තිබූ හොඳම දේ බව රටේ වැඩිදෙනාගේ අදහසයි. එහෙත් බටහිර රටවල ඕනෑ එපාකම් සියල්ලට කොන්දේසි විරහිතව කොන්ද පාත් නොකරන නොබැඳි රටක් හැටියට ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි රටට ආදරය කරන්නන් බලාපොරොත්තු වෙනවා ඇත.

