brand logo
logo
බොරැල්ල ළමා රෝහලේ ඖෂධ, උපකරණ හිඟයක්

බොරැල්ල ළමා රෝහලේ ඖෂධ, උපකරණ හිඟයක්

06 October 2026 | අනීෂා මානගේ

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ජීවිතාරක්ෂක ඖෂධ, ඉතා වැදගත් අත්‍යවශ්‍ය ඖෂධ, ශල්‍ය උපකරණ, රසායනාගාර පරීක්ෂණ කිරීමට ඉදිරි මාස හය සඳහා අවශ්‍ය උපකරණ සහ අමුද්‍රව්‍ය රැසක් පරිත්‍යාගශිලීන්ගෙන් අපේක්ෂා කරන බව එම රෝහලේ වෙබ් අඩවියෙහි සඳහන් කර ඇත.


බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රොහල් නිල වෙබ් අඩවියට අනුව ඊයේ (5 වැනිදා) වනවිට ජීවිතාරක්ෂක ඖෂධ කාණ්ඩ 43ක්, ශල්‍ය උපකරණ 61ක්, රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය 25ක ලැයිස්තුවක් සඳහන් කර තිබිණි.


Carnitine, Clobazam, Phosphate Buffer, Rituximab, Salbutamol Nebulize Solution, Sodium Valporate, Paracetamol, Cefuroxime ආදී ඖෂධ වර්ග 43ක්, Urine catheter, Feeding tube, Polypropylene, Laryngel Mask, Femoral Arterial Cannula, Blood cardioplegia delivery set, Hard Plaster of paris powder ආදී ශල්‍ය උපකරණ 61ක් සහ ferritin for dimention biochemistry analyzer, chem 2 callibrator for dimention biochemistry analyzer, cfl lyse (500ml bottle) for bc 30s mindray analyzer (fbc) ආදී රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වර්ග 25ක ලැයිස්තුවක් සඳහන් කර ඇත.


ඇතැම් ඖෂධ විශාල ප්‍රමාණවලින් අවශ්‍ය බව මෙම ලැයිස්තුවේ සඳහන් කර තිබිණි. Oxybutynine Hcl 2.5 mg ඖෂධය හැටදහසක්, Calcium500mg+Vit D 3250 iu අනූදහසක්, Cyclosporin ඖෂධය තිස්දහසක්, Cephalexin ඖෂධය හතළිස් දෙදහසක්, Sodium Valporate 100 mg ඖෂධය හයලක්ෂ හැත්තෑදහසක් ආදී ලෙස විශාල ප්‍රමාණවලින් දක්වා තිබිණි.


මේ අතර මහරගම අපේක්ෂා රෝහලද ඖෂධ වර්ග කිහිපයක් සහ ශල්‍ය වෛද්‍ය උපකරණ කිහිපයක් පරිත්‍යාගශීලින්ගෙන් අපේක්ෂා කරයි. Tigecycline 500mg”Methotrexate 500mg” Fluorouracil 1g” Methotrexate 200mg” Voriconazole 200mg Chiorombucil 2mg ඖෂධ මෙලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.


මෙම ඖෂධ සහ උපකරණ මිලදී ගැනීම සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහල පරිත්‍යාගශීලින්ට සහාය වන ලෙස ඉල්ලා සිටින අතර ඖෂධ සැපයුම්කරුවකු, දේශීය නියෝජිතයකු, ෆාමසියක් හෝ අදාළ ඖෂධ සැපයිය හැකි අයකු නම් එයටද වෙබ් අඩවිය පහසුකම් සලසා දී තිබිණි.


රිජ්වේ ආර්යා ළමා රෝහල පරිත්‍යාගශීලින්ගෙන් ඖෂධ අපේක්ෂා කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පැවසූවේ සාමාන්‍ය තත්ත්වය යටතේ වෛද්‍ය සැපයුම් ඒකකය මගින් අඛණ්ඩ සැපයුමක් පවතින කිසිදු ඖෂධයක් හෝ ශල්‍ය උපකරණයක් හෝ රසායන ද්‍රව්‍යයක් මේ අන්දමට පරිත්‍යාග ලෙස ඉල්ලා සිටිය නොහැකි බවයි. මෙතරම් විශාල ඖෂධ හා ශල්‍ය උපකරණ ප්‍රමාණයක් පරිත්‍යාග ලෙස ඉල්ලා සිටීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු කළ යුතු බවද හෙතෙම සඳහන් කරයි. සැලකිය යුතු ඖෂධ හිඟයක් හා ශල්‍ය උපකරණ හිඟයක් ළමා රෝහල තුළ පවතින්නේ ඇයිදැයි බලධාරීන් පැහැදිලි කළ යුතු බවද හෙතෙම පැවසීය.

 

More News..