brand logo
logo
විනිසුරු බලා සිටියදී අනීතික පහරකෑමට ලක්වූ වූෂු ක්‍රීඩිකාව සාධාරණය ඉල්ලයි

විනිසුරු බලා සිටියදී අනීතික පහරකෑමට ලක්වූ වූෂු ක්‍රීඩිකාව සාධාරණය ඉල්ලයි

01 September 2026


මහනුවර පැවැති වූෂු තේරීම් තරගාවලියකදී තරග විනිසුරු ඉදිරිපිටම අනීතික ආකාරයේ පහරකෑමකට ලක්වූ තමාට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමු වීමට සිදු වූ බවත්, අදාළ අසාදාරණය පිළිබඳව පැමිණිලි කළ තම පියාට ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයේ නිලධාරීන් 'ගොබ්බයා' ලෙස බැණ වැදුණු බවත් වූෂු ක්‍රීඩිකා ටනීෂා කේෂාවි මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළාය.


මාධ්‍ය හමුවේදී සිද්ධිය පැහැදිලි කළ ටනීෂා, "මම වසර 12ක සිට මහනුවර අම්පිටිය බෙරවස්ට් විද්‍යාලය වෙනුවෙන් වූෂු ක්‍රීඩාවේ නියැළෙනවා. මගේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන්නේ අජන්ත බණ්ඩාර මහත්මයා. මම දේශීය වගේම විදේශීය තරගවලින් ලංකාවට ගෞරවයක් ගෙනත් දීලා තියෙනවා. නමුත් මට හැමදාමත් ලැබුණේ කුඩම්මාගේ සැලකිලි. ඒ ඇයි කියන්න මම දන්නේ නෑ. වඩාත් මෑතකදී ඇතිවූ සිද්ධිය තමයි පසුගියදා මහනුවර දිගන ක්‍රීඩාංගණයේ පැවැති ජාතික මහා ක්‍රීඩා උළෙල සඳහා මධ්‍යම පළාත් වූෂු ක්‍රීඩක ක්‍රීඩකාවන් තෝරන අවස්ථාවේදී මට සිදුකළ අසාධාරණකම්. කිලෝ ග්‍රෑම් 52 බර පන්තිය යටතේ තරග කළ මගේ පළමු කුසපත් ඇදීම විනිසුරුවරුන් අවලංගු කළා. දෙවැනිවර ඔවුනට අවශ්‍ය අනීතික ආකාරයෙන් කුසපත් ඇදලා මට එරෙහිව තරග කරන්න ක්‍රීඩිකාවක් යොමු කළා. ඇය සෑම විටකම පහර දුන්නේ වූෂු ක්‍රීඩා තාක්ෂණයට අනුව නෙවෙයි. ඒත් වේදිකා විනිසුරු ඇයව නැවැත්වූයේ නැහැ. එම තරගයේදී මම පහරකා බිම වැටුණා. නැවත නැගිටලා තරගයට සූදානම්වීමට පෙර වේදිකා විනිසුරුවරයා ඉතාමත් අනීතික අයුරින් ප්‍රතිවාදී ක්‍රීඩිකාවට මට පහරදීම සඳහා සංඥා කළා. මම පසුපස හැරී සිටින අවස්ථාවේ මගේ හිස පසුපසට තදබල පහරක් එල්ල කරා. තරගය අවසානයේ මම සිහිසුන්ව වැටුණා. මගේ පුහුණුකරු, අම්මා ඇතුළු කණ්ඩායමක් මාව ජාතික රෝහලට අරගෙන ගියා. දැඩි සත්කාර ඒකකයේ දින තුනක් ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුවයි සාමාන්‍ය වාට්ටුවකට යොමු කළේ." යනුවෙන් සඳහන් කළාය.


වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය "යම් තරමකට සුව වූ අවස්ථාවේ තමයි මම මේ සිද්ධිය මාධ්‍ය හමුවේ කියන්නේ. මම මේ වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටිය යුතු වුවත් පහර කෑමෙන් පසු උද්ගතව තිබෙන තදබල හිසේ අමාරුවක් නිසා එය නිසියාකාරව කර ගන්න ලැබුණේ නෑ. දැන් තදබල ලෙස අමතකවීම් සිදුවෙනවා. මම හිතන්නේ මේ ක්‍රීඩාවෙන් මම ඉහළට එන එක නවත්වන්න කිසිවෙකුට හෝ තදබල උවමනාවක් තියෙන නිසයි මේ වගේ කරන්නේ. මම ජනාධිපතිතුමාගෙන්, ක්‍රීඩා ඇමැතිගෙන් ඉල්ලා සිටින්නේ මේ අනීතික අසාධාරණකම් කරන වූෂු සම්මේලනයේ නිලධාරින්ගෙන් හා විනිසුරුවරුන්ගෙන් මේ ක්‍රීඩාව බේරා දෙන්න කියලයි. මට වුණු අසාධාරණයට සාධාරණයක් ඉටු කරන්න කියලත් මම ඉල්ලා සිටිනවා." යනුවෙන් පැවසීය.


මෙහිදී අදහස් පළ කළ ටනීෂාගේ මව වන නිරෝෂා කුමාරි, තම දියණිය මෙම ක්‍රීඩාවට සම්බන්ධවී කෙටි කලකින් ඉතා විශාල ජයග්‍රහණ රැසක් ලැබූ බවත්, තරග විනිසුරු විභාගයට පවා ඉදිරිපත්ව සමත්ව සිටිනා බවත් සඳහන් කළාය. සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති ඇතුළු සියලු පාර්ශ්ව වෙත පැමිණිලි කළද මේ දක්වා කිසිදු විධිමත් පියවරක් ගෙන නොමැති බව ද, වූෂු සම්මේලනයට පැමිණිලි කළ තම ස්වාමිපුරුෂයාට 'ගොබ්බයා' යනුවෙන් බැණ වැදී පිළිතුරු එවා ඇති බවද ඇය සඳහන් කළාය.


මේ අතර ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ හිටපු උප සභාපති, ජාතික පුහුණුකරු, ජාත්‍යන්තර විනිසුරු හා තරග තීරක නිශාන්ත පතිරාජ ද සිදු වීම සම්බන්ධව අදහස් පළ කළේය. ටනීෂාගේ හිස පසුපසට ඉතාමත් බරපතළ ආකාරයේ නීති විරෝධී පහරදීමක් සිදු කළ නමුත් විනිසුරුවරයා එය සංඥා කිරීමට හෝ කටයුතු නොකළ බවත්, මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කර ක්‍රීඩිකාවට සාධාරණයක් කළ යුතු බවත් පවසා සිටියේය.


වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, "ශ්‍රී ලංකා වූෂු සම්මේලනය කියන්නේ බොහෝ වංචා, දූෂණ, අකටයුතුකම් බරපතළ ආකාරයෙන් සිදුවන තැනක්. මම මෙතන අවුරුදු ගානක් හිටියා. වසර 32ක් මෙතන ආධිපත්‍යය පතුරගෙන ඉන්නේ හිටපු සභාපතිවරයෙක්. ඔහු වසර ගණනාවක් අඛණ්ඩව සභාපති ධුරයේ හිටියා. මෑතකදී ගෙනාව කාල සීමාවේ චක්‍රලේඛය නිසා මෙවර ඉදිරිපත් වෙන්න බැරි උනත් ඔහුගේ සුවච කීකරු චක් ගෝලයෝ ටිකක් තමයි සභාපති ඇතුළු තනතුරුවලට පත් කරගෙන ඉන්නේ. මේ අය මෙහෙයවන්නේ මේ හිටපු සභාපතිවරයා. සම්මේලනයේ තිබුණු රුපියල් කෝටි ගණනක සල්ලිවලට වුණ දෙයක් නෑ. මේ පුද්ගලයා සෑම විටකම තරග සඳහා තෝරා ගන්නේ තමන්ට සන්තෝසම් හෝ ලිංගික අල්ලස් ලබාදෙන අයගේ දරුවෝ පමණයි කියලා අපිට විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් දැනගැනීමට ලැබිලා තියෙනවා. පළමු ස්ථාන දිනන ක්‍රීඩකයන් වෙනුවට දෙවැනි, තෙවැනි හෝ ඇතැම් විට ස්ථාන නොගන්නා ක්‍රීඩකයෝ තමයි විදෙස් තරග, පුහුණු ශිෂ්‍යත්වවලට පවා යවන්නේ. වර්තමානයේ ඔහු සභාපති නොවුනත් තරගවලට යනවා. තරුපහේ හෝටල්වල නැවතිලා කනවා, බොනවා, පාටි දානවා. මේ කාමරවලට කාන්තාවෝ රැගෙන යනවා කියලත් අපිට තොරතුරු ලැබී තිබෙනවා. මේ වියදම් ඔක්කොම දරන්නේ වූෂු සම්මේලනයේ සල්ලිවලින්. බොරුවට තරග, පුහුණු සැසි සංවිධානය කරලා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් බරපතළ ආකාරයෙන් මුදල් ගන්නවා. ඕක තමයි ඇත්ත තත්ත්වය. මේවා ඔප්පු කරන්න අපි ළඟ සාක්ෂි තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි අදාළ සියලුම අංශ දැනුවත් කරලා තියෙනවා. නමුත් වැඩක් වෙලා නෑ." යනුවෙන් හෙළිදරව් කළේය.


මෙම අවස්ථාවට ප්‍රවීණයන්ගේ වූෂු සංගමයේ කැඳවුම්කරු අජන්ත බණ්ඩාර, ජාත්‍යන්තර තරග විනිසුරු එස්. සරත්චන්ද, විනිසුරු හා තරග තීරක ජේ.එම්. ජයසේකර, විනිසුරු මහේන්ද්‍ර ඒකනායක, ජාත්‍යන්තර විනිසුරු දේශාන් දයාරත්න, ජාත්‍යන්තර විනිසුරු හා පුහුණුකරු එම්. කපිල, මධ්‍යම පළාත් වූෂු සංගමයේ උප සභාපති අයි.ජේ.එස්. පුංචිහේවා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

 

More News..