brand logo
logo
දේශගුණ විපර්යාස අවම කිරීමට ගෙන ඇති පියවර ශ්‍රේෂ්ඨාධිකරණයට

දේශගුණ විපර්යාස අවම කිරීමට ගෙන ඇති පියවර ශ්‍රේෂ්ඨාධිකරණයට

11 June 2024 | කේ.එස්.උදයකුමාර

දේශගුණ විපර්යාස අවම කිරීම සඳහා රජය විසින් ගෙන තිබෙන ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් නීතිපතිවරයා විසින් අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය.


දේශගුණක විපර්යාස අවම කිරීම සඳහා රජය විසින් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවත් ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකරනු ලැබූ පෙත්සමක් අද මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ විසින් මේ බව දැනුම් දුන්නේය.


මෙම පෙත්සම ඉකුත් නඩු දිනයේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් දේශගුණක විපර්යාස අවම කිරීම සඳහා රජය විසින් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවට චෝදනා කර තිබුණි. 


එම කරුණු සලකා බැලූ අධිකරණය දේශගුණික විපර්යාසයන් අවම කිරීම සඳහා රජය විසින් ගෙන තිබෙන ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියෝග කර තිබුණි 


ඒ අනුව අදාල පෙත්සම අද කැඳවනු ලැබු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ විසින් අධිකරණයට එම වාර්තාවක් ඉදිරිපත් කළේය. ඉන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් පියවරයන් රාශියක් ගෙන තිබෙන බවයි. 


ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අදාල වාර්ථාව අධ්‍යයනය කර සිය නිරීක්ෂණ අගෝස්තු මස 01 වන දා අධිකරණයට දැනුම් දෙන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කෙරිණි.

 

More News..