තරුණ පරපුර වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමේ 'Door to Door Skill Campaign' ජාතික වැඩසටහන ඇරඹේ
21 November 2026
තරුණ පරපුර වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමේ 'Door to Door Skill Campaign' ජාතික වැඩසටහන ඇරඹේ
21 November 2026
දිවයින පුරා වෘත්තීය අධ්‍යාපනයට යොමුකළ හැකි මානව සම්පත හඳුනාගනිමින්, ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් දෙමාපියන් සහ දරුවන් දැනුවත් කර වෘත්තීය අධ්‍යාපන පද්ධතියට යොමු කරගැනීමේ 'Door to Door Skill Campaign' ජාතික වැඩසටහන අද (21) ආරම්භ විය.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
මෙහි සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ, වර්තමාන ලෝකයේ පවතින රැකියා සහ වෘත්තීය අවස්ථාවලට පිවිසීමට ඇති එකම මාවත උපාධියක් ලබාගැනීම පමණක් නොවන බවය.
තමන්ගේ කුසලතා දියුණු කරගනිමින් ඉදිරියට යා හැකි විවිධ අධ්‍යාපනික මාවත් ලොව පුරා විවෘතව පවතින බවත්, ශ්‍රී ලාංකේය අධ්‍යාපන පද්ධතිය තුළද සිදුකිරීමට අපේක්ෂා කරන්නේ දරුවන්ට තම හැකියාවන් හා කැමැත්ත පරිදි ඉදිරියට යාමට එවැනි විවිධ මාවත් විවෘත කරදීම බවත් ඇය පැවසුවාය.
දේශීය කර්මාන්ත ක්ෂේත්රය තුළ පුහුණු ශ්‍රමිකයන් සඳහා විශාල ඉල්ලුමක් පැවතුණද, රැකියා නොමැතිව නිවෙස්වල පසුවන තරුණ තරුණයන් සහ එම අවස්ථා අතර පවතින පරතරය පියවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවද අග්‍රමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සඳහන් කළේ, මෙතෙක් කල් දරුවන් වෘත්තීය ආයතන සොයා පැමිණි යුගය නිමා කරමින්, දිවයින පුරා පිහිටි ග්‍රාම නිලධාරී වසම් 14,008 තුළම දොරෙන් දොරට ගොස් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද ආරම්භ කළ බවය.
වෘත්තීය අධ්‍යාපනයේ වැදගත්කම මෙන්ම NVQ (ජාතික වෘත්තීය සුදුසුකම්) සහතික ලබාගැනීම හරහා දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් විවර වන රැකියා අවස්ථා පිළිබඳව ජනතාව දැනුවත් කර, තරුණ පරපුර රටේ සක්‍රීය ආර්ථික ක්‍රියාවලියට දායක කරගැනීම මෙම වැඩසටහනේ මූලිකම අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


