brand logo
logo
 කොළඹ Kings රෝහල, අක්මා බද්ධ කිරීම් 25ක් සාර්ථකව සිදුකරයි

කොළඹ Kings රෝහල, අක්මා බද්ධ කිරීම් 25ක් සාර්ථකව සිදුකරයි

17 June 2026


කොළඹ Kings රෝහල ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, උසස්ම තත්වයේ අක්මා බද්ධ ප්‍රතිකාර සඳහා වන ප්‍රමුඛ දේශීය මධ්‍යස්ථානයක් ලෙස සිය ස්ථාවරත්වය තහවුරු කරගනිමින්, වැඩිහිටි රෝගීන් සඳහා ජීව දායකයන්ගෙන් (living- donor) ලබාගත් අක්මා බද්ධ කිරීමේ සැත්කම් 25ක් සාර්ථකව සම්පූර්ණ කර ඇත. 


මෙම අක්මා බද්ධ කිරීමේ වැඩසටහන 2025 වසරේ මුල් භාගයේදී නිල වශයෙන් දියත් කෙරුණු අතර, එහි අරමුණ වූයේ අවසාන අදියරේ නිදන්ගත අක්මා රෝගවලින් පෙළෙන රෝගීන්ට ජීවිතාරක්ෂක ප්‍රතිකාර සඳහා දේශීයව වැඩි අවස්ථාවක් ලබාදීමයි.


 අතීතයේදී අක්මා බද්ධ කිරීමක් අවශ්‍ය වූ බොහෝ ශ්‍රී ලාංකික රෝගීන්ට විශාල වියදමක් සහ ප්‍රායෝගික දුෂ්කරතා රැසක් විඳදරාගනිමින් විදේශගත වීමට සිදු වූ අතර, සීමිත දැනුවත්භාවය, විශේෂඥ ප්‍රතිකාර සඳහා වන යොමු කිරීමේ ක්‍රමවේදවල දුර්වලතා මෙන්ම විශේෂිත දේශීය පහසුකම් හිඟකම හේතුවෙන් තවත් බොහෝ පිරිසකට නිසි වේලාවට ජීවිතාරක්ෂක ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව මඟහැරී ඇත.


මෙම වැඩසටහන මඟින් රෝගීන්ට තම පවුලේ ආදරනීයයන් සමඟ ම සිටිමින්, ලංකාව තුළදීම මෙවැනි සංකීර්ණ සැත්කම් ඉතා විශ්වාසනීය ලෙස කර ගැනීමට අවස්ථාව ලැබේ. ජාත්‍යන්තර මට්ටමේ උසස් ප්‍රතිකාර ක්‍රමවේදයක් දිගුකාලීනව පවත්වාගෙන යෑම සඳහා කොළඹ Kings රෝහල නවීන පහසුකම්, දියුණු වෛද්‍ය තාක්ෂණය සහ ඉහළ පළපුරුද්දක් සහිත වෛද්‍ය කණ්ඩායම් වෙනුවෙන් විශාල පිරිවැයක් සහ ශ්‍රමයක් ආයෝජනය කර තිබේ. 


අක්මා ශල්‍යකර්ම පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් ඇති මහාචාර්ය තාමර පෙරේරා FRCS (Eng) මහතාගේ මෙහෙයවීම, කොළඹ Kings රෝහලේ දක්ෂ වෛද්‍ය කණ්ඩායමක් එකට එකතු කිරීමට හැකි වී තිබේ. මෙම ප්‍රතිකාර ක්‍රමවේදය යටතේ, අක්මාව පරිත්‍යාග කරන පුද්ගලයා මෙන්ම එය ලබාගන්නා රෝගියා පිළිබඳවත් ඉතා සවිස්තරාත්මක පරීක්ෂණ සිදු කෙරේ. එමෙන්ම සැත්කමට පෙර, සැත්කම සිදුවන අතරතුර සහ ඉන් පසුවත් ඉතාමත් සැලසුම් සහගත, මනා සම්බන්ධීකරණයකින් යුත් වෛද්‍ය සත්කාර සැපයීමට රෝහල පියවර ගෙන ඇත. 


මෙම වැඩසටහනේ ඇති විශේෂත්වය වන්නේ අක්මා බද්ධ කරන රෝගීන් වෙනුවෙන්ම වෙන්වුණු දැඩි සත්කාර ඒකකයක් තිබීමයි. නවීනතම නිරීක්ෂණ පද්ධති, ජීවිත ආධාරක උපකරණ සහ රෝගියාගේ තත්ත්වය එසැණින් විශ්ලේෂණය කිරීමේ තාක්ෂණය නිසා මෙම ඒකකය ඉතාමත් දියුණු මට්ටමේ පවතී. රෝහලේ ඇති රුධිර කාන්දුකරණ පහසුකම් සමඟ එකතු වී, සැත්කමට පෙර සහ පසු ඇතිවන ඕනෑම සංකීර්ණ රෝගී තත්ත්වයක් පාලනය කිරීමට මෙයින් හැකියාව ඇත. 


මේ හේතුවෙන්, එකවර ශරීරයේ අවයව කිහිපයක් අකර්මණ්‍ය වීමේ දැඩි අවදානමක සිටින රෝගීන්ට පවා, ප්‍රමාදයකින් තොරව නියමිත ප්‍රතිකාර ලබා දෙමින් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට අඛණ්ඩ සත්කාරයන් සැපයිය හැකියි.


බොහෝ රෝගීන් අක්මා බද්ධ කිරීමේ සායනික ප්‍රතිකාර වෙත යොමු වන්නේ ඖෂධීය පාලනයන් ඉක්මවා ගිය පසුව බව මහාචාර්ය පෙරේරා මහතා අවධාරණය කළේය. එවැනි අවස්ථාවලදී අක්මා අකර්මණ්‍ය වීම සෙසු ප්‍රධාන ඉන්ද්‍රිය පද්ධතීන්ට ද බලපෑම් එල්ල කරන බැවින්, නිදන්ගත අක්මා රෝගී සත්කාරයන්හිදී පූර්ව රෝග විනිශ්චය, කාලීන දැනුවත්භාවය සහ ප්‍රමාදයකින් තොරව විශේෂඥ වෛද්‍ය සේවාවන් වෙත යොමු කිරීම රෝගීන්ගේ දිගුකාලීන ජීවිත සුරක්ෂිතතාව තීරණය කරන ප්‍රධානතම සාධකය වේ.


කොළඹ Kings රෝහලෙහි වෛද්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ශානි ද සිල්වා මහත්මිය මෙම සන්ධිස්ථානය පිළිබඳ අදහස් දක්වමින් පැවසුවේ, “නවීනතම වෛද්‍ය තාක්ෂණය සහ පළපුරුදු උපදේශක වෛද්‍යවරුන්ගේ විශේෂඥතාව සමඟ, ශ්‍රී ලංකාවට උසස් අක්මා බද්ධ ප්‍රතිකාර සේවාවක් ලබාදීමට හැකිවීම අපට මහත් සතුටකි. මෙය පෞද්ගලික සෞඛ්‍ය සේවාවේ උසස් ප්‍රමිතීන් වෙනුවෙන් අපගේ කැපවීම ප්‍රකට කරයි,” යනුවෙනි.


සාර්ථක අක්මා බද්ධ කිරීම් 25ක් සම්පූර්ණ කිරීම, කොළඹ Kings රෝහලෙහි ආයතනික ජයග්‍රහණයක් පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම, විදේශීය ප්‍රතිකාර මත රඳාපැවැත්ම අඩු කිරීම සහ රෝගීන්ට තම රට තුළම උසස් සායනික ප්‍රමිතියකින් යුත්, පවුලේ සහයෝගය සමඟ ලබාගත හැකි ජීවිත පරිවර්තනය කරන ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව සැලසේ.


 

More News..