brand logo
logo
වනිදු බලෙන්ම තමයි ක්‍රිකට් ගහන්න ගත්තේ

වනිදු බලෙන්ම තමයි ක්‍රිකට් ගහන්න ගත්තේ

21 March 2023 | රුවන් එස්. සෙනවිරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කවුරුත් වැඩිපුරම ආදරය කරන ක්‍රීඩකයා ඔහුය. මෙරට තරුණියන්ගේ වැඩිම ආකර්ෂණය ඇත්තේද ඔහුටය. ඒකට හේතුව කාට කාටත් ඉනාවක් වී ඇති ඔහුගේ මනමාල හිනාවත් නළුවකුට දෙවැනි නොවන කඩවසම් පෙනුමත්ය. ඒ වෙන කවුරුත් නොව, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක‍ වනිදු හසරංගයි. එහෙත් තරුණියන්ගේ හිත් මොහොතකට නතර කරමින් පසුගියදා එක්වරම මේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ විවාහ මංගල්‍යය සිදුවිය. ඒ නිසාම දැන් කවුරු කවුරුත් කතා කරන්නේ එම විවාහය ගැනය. එවන් මොහොතක ‘පිනිපලස’ මේ කතාබහ වනිදුගේ මව වන කන්දේගමගේ සමන්ති සමගිනි.


වනිදුත් විවාහ වුණා නේද?


ඔව්, පහුගිය සතියේ පොඩි පුතාගේ විවාහ මංගල්‍යය තිබුණා. එයාගේ අතගත්තේ වින්ධ්‍යා දුව. විවාහ මංගල්‍යයේ වැඩ ටික හොඳට වුණා. මට ඉතින් හරිම සතුටුයි.


වින්ධ්‍යා කියන්නේ වනිදුම හොයාගත්ත ගෑනු ළමයෙක්ද?


වනිදු තමයි වින්ධ්‍යා දුවව හොයාගෙන තියෙන්නේ. එයා අපි හොයලා දුන්නු ගෑනු ළමයෙක් නෙවෙයි. ඇත්තටම ලොකු කාලයක් ඒ දෙන්නා අතර ආදර සම්බන්ධයක් තිබුණා. මං හිතන්නේ අවුරුදු පහක් හයක් වගේ කාලයක් වගේ ඉඳන් ඒ දෙන්නා යාළුයි. ඒත් වනිදු අපිට නම් කිව්වේ දැනට අවුරුදු තුනකට විතර කලින් තමයි.


වනිදු ඒ ආදර සම්බන්ධය ගැන අම්මලාට කිව්වේ කොහොමද?


දවසක් අපි රෑ කෑමකට දියතට ගියා. ඒ යන්න කලින් වනිදු ඇහුවා මං ආදරේ කරන ගෑනු ළමයටත් එයාගේ අම්මත් එක්ක එතැනට එන්න කියන්නද කියලා. අපිත් හා කිව්වා. එදා තමයි අපිත් මුලින්ම වින්ධ්‍යා දුවව දැක්කේ.

එදා වින්ධ්‍යා දැක්කම මොකද හිතුණේ?


එදා ඉතින් දුව එක්ක ටිකක් කතාබහ කළා. එතකොට අපිට තේරුණා වනිදු එයාට ගැළපෙනම කෙනා තෝරගෙන තියෙන්නේ කියලා. මොකද එයා හරිම හොඳ ගතිගුණ තියෙන ළමයෙක්. ඉතින් අපිත් පුතාගේ තීරණයට කැමැති වුණා.


වනිදුගේ විවාහ මංගල්‍යය එකපාරම ගන්න හිතුවේ ඇයි?


එහෙම එකක් නෑ. මාස දෙක තුනක ඉඳන් ප්ලෑන් කරලයි ඒක මේ මාසේ ගත්තේ. ඉදිරියේදි තියෙන ක්‍රිකට් තරගාවලිත් එක්ක වනිදු මාස ගාණකට කාර්යබහුල වෙනවා. ඒ නිසා ඊට කලින් ඒ දෙන්නගේ විවාහ මංගල්‍යය ගන්න එක හොඳයි කියලා හිතුණා.


අලුත් ලේලි වින්ධ්‍යා ගැනත් වචනයක් කියමුද?


ඇත්තටම වින්ධ්‍යා කියන්නේ මුලින් කියපු විදිහට හරිම හොඳ ගතිගුණ තියෙන අහිංසක දරුවෙක්. එයා වනිදුට ගොඩාක් ආදරෙයි. වනිදුත් එහෙමයි.


වනිදු විවාහ වෙන්න කලින් එයා ආදරවන්තයෙක් කියලා ගොඩාක් අය දැනගෙන හිටියේ නෑ නේද?


ඔව්, ගොඩාක් අය දැනගෙන හිටියේ නෑ. හැමෝම වගේ හිතුවේ පුතා තනිකඩයි කියලා.


ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට වනිදුට තරුණියන්ගේ ලොකු ආකර්ෂණයක් තිබුණා කියලා....


ඒක නම් ඇත්ත. මමත් දකිනවා වනිදුට ගොඩාක් ගෑනු ළමයි හරි කැමැතියි.

වනිදුගේ විවාහයත් එක්ක වනිදුට කැමැති ඒ තරුණියෝ නම් ටිකක් කලබල වුණා නේද?


මං හිතන්නේ කොච්චර ගෑනු ළමයි වනිදුට ආදරේ කළත් මේ එයාව පතාගෙන ආපු හිමිකාරිය වෙන්න ඇති. ඒ අතින් වින්ධ්‍යා දුව හරිම වාසනාවන්තයි. එයා හරි හොඳ ගෑනු ළමයෙක්. දැන් නම් මගේම දරුවෙක් වගේ තමයි. මමත් එයාට ගොඩාක් කැමැතියි.


වනිදුගේ අම්මා විදිහට පුතා ගැන දැන් මොකද හිතෙන්නේ?


අම්මෙක් විදිහට මට මගේ පුතා ගැන ආඩම්බරයි. කොච්චර දක්ෂයෙක් වුණත් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එකොළොස් දෙනා අතරට එන්න කීයටවත් ලේසි නෑ. ඒත් එයා අද වෙනකොට ජාතික කණ්ඩායමේ තමන්ගේ තැන හදාගෙන තියෙනවා. ඉතින් මැච් එකක් වෙලාවට "අනේ මේ සෙල්ලම් කරන්නේ මගේ අතේ නැළවුණු මගේ කොල්ලනේ" කියලා මට හිතෙන වාර අනන්තයි.


වනිදු ක්‍රිකට්වලට යොමුවුණේ කොහොමද?


පොඩි කාලේ ඉඳන්ම වනිදුට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒ කාලේ මෙයාගේ අයියා ක්‍රිකට් ගැහුවනේ. ඒ හින්දා මෙයත් කියන්න ගත්තා "අම්මේ මටත් අයියා වගේ ක්‍රිකට් ගහන්න ඕනේ" කියලා. ඒත් අපි කැමැති වුණේ නෑ. ඊට පස්සේ මෙයා "අයියට විතරද ක්‍රිකට් ගහන්න දෙන්නේ" කියලා අපෙන් ඇහුවා. එතකොට මං කිව්වා "අයියා ක්‍රිකට් ගහයි ඔයා ඉගෙනගන්න" කියලා. පස්සේ මෙයා "එහෙනම් මට ශිෂ්‍යත්වේ පාස්වුණොත් ක්‍රිකට් ගහන්න දෙනවද" කියලා ඇහුවා. මං "බලමුකෝ" කිව්වා. ඒ උනන්දුවට මෙයා ශිෂ්‍යත්වේ ලිව්වේ. ඒත් ලකුණු කීපයක් මදිවුණා. ඊට පස්සේ බලෙන්ම වගේ ක්‍රිකට් ගහන්න ගත්තා.


බලෙන්ම වගේ ක්‍රිකට් ගහන්න ගිය වනිදු ජාතික කණ්ඩායමට තේරෙයි කියලා අම්මා නිකමට හරි එදා හිතුවද?


හීනෙකින්වත් හිතුවේ නෑ. ඒත් පුතාට ඒ අවස්ථාව ලැබුණා. වෙලාව තමයි ඉතින්. කොහොම හරි වනිදු ක්‍රිකට්වලින් හරි ඉක්මනට ලොකු ගමනක් ආවා. ඒත් ඒ ගමන ආවේ මල් පාරකින් නම් නෙවෙයි. පුතා ගොඩාක් දුක් විඳලා තියෙනවා. පුහුණුවීම් නිසා වෙලාවට නොකාපු දවස් හරියට නිදාගත්තේ නැති දවස් ඕන තරම් තිබුණා. අනික දවසම ඉන්නේ අව්වේ. මට මතකයි බස් එකේ නින්ද ගිහින් මෙයා කීප සැරයක්ම බහින තැන් පහුකරලා ගිහින් තිබුණා. ඔය වගේ ගොඩාක් දුක් විඳලා අසීමිත කැපවීමත් එක්ක තමයි එයා මේ ගමන ආවේ. ඒක මල් පාරකින් ආපු ගමනක් නෙවෙයි.

අද වනිදු ජාතික කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙක්. මොකද ඒ ගැන හිතෙන්නේ?


අම්මෙක් විදිහට ආඩම්බරයි. එයා දැන් මැච් දිනවන කෙනෙක් කියලයි හැමෝම කියන්නේ.ප්‍රේක්ෂකයෝ වුණත් මැච් එකක් වෙලාවට වනිදු තමයි මුලින්ම ඉන්නවද බලන්නේ. ඇත්තටම කණ්ඩායමට විතරක් නෙවෙයි එයා දැන් ප්‍රේක්ෂකයන්ටත් නැතුවම බෑ.


වනිදු ගෙදරදි එහෙම මොන වගේ කෙනෙක්ද?


අම්මා කෙනෙක් දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද ඒ හැමදේම වනිදු ළඟ තියෙනවා. මට වගේම තාත්තටත් හරි ආදරෙයි. අයියටත් නංගිටත් පණ ඇරලා.


ගෙදර ඉන්න දවසට වනිදු මොකද කරන්නේ?


එහෙම දවස්වලට නම් එයා අපිත් එක්ක කතා කර කර ඉන්න ආසයි. එහෙම නැත්නම් කාඩ් පැක් එකක් හොයාගෙන ඇවිත් අපිවත් බලෙන්ම අඬගහගෙන කාඩ් සෙල්ලම් කරමු කියනවා.


ගෙදර ඉන්න දවසට එයා කන්න ආසම කෑම ජාති එහෙමත් ඇති නේද?


කැකුළු බත් එක්ක පොල් සම්බෝලයි කරවල බැදුමයි තමයි එයා ආසම. ගෙදර ඉන්න දවසට මං එහෙම හදලා දෙනවා.

තරගයක් ඉවරවෙලා ගෙදර ආවම අම්මලා වනිදුට මොකද කියන්නේ?


එදා දවසේ එයා හොඳට සෙල්ලම් කළා නම් අපි කියනවා "අද ඔයා හොඳටම සෙල්ලම් කළා’’ කියලා. හැබැයි එයා හොඳට සෙල්ලම් කළේ නැත්නම් අපි කියනවා "ඒ මැච් එක පැරදුණේ ඔයා හින්දයි ඔයා හොඳට බෝල් කළේ නෑනේ" වගේ කතා. එතකොට වනිදු හිනාවෙලා කියනවා "හෙට ඉඳන් අම්මා මගේ කෝච් වෙන්න එතකොට හරිනේ" කියලා.


වනිදුගේ අම්මත් හොඳ ක්‍රිකට් ප්‍රේක්ෂිකාවක් නේද?


මොකද නැත්තේ... මං ක්‍රිකට් මැච් බලන්න පටන් ගත්තේ අසූ ගණන්වල ඉඳන්. මං ආසම ක්‍රීඩකයා තමයි සිදත් වෙත්තමුණි. ඒත් ඒ කාලේ මැච් බලද්දි මගේ කොල්ලෙක් අපේ කණ්ඩායමට සෙල්ලම් කරයි කියලා හිතුවේ නෑ. අඩු තරමේ ක්‍රිකට් මැච් එකක් බලන්න ක්‍රීඩා පිටියකටවත් යන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නෑ.


අම්මා දකින විදිහට වනිදු ක්‍රීඩා පිටියේදී කරන ලොකුම වැරැද්ද මොකක්ද?


වනිදු බැට් කරද්දි පුදුම කලබලයක් තියෙන්නේ. ඒ නිසා නිකරුණේ විකට් එක දෙනවා. දැන් නම් මමයි තාත්තයි කියලා කියලම පොඩ්ඩක් හැදිලා ඉන්නේ. තාත්තා නම් වෙලාවකට හරියට ගහන්නේ නෑ කියලා බණිනවා.

 

More News..