විසිදෙකේ වාසනාව
22 August 2026 | සුන්දර නිහතමානි ද මැල්
විසිදෙකේ වාසනාව
22 August 2026 | සුන්දර නිහතමානි ද මැල්
පුවත්පතේ සතිපතා කර්තෘ මණ්ඩල රැස්වීම ආරම්භ විය. සැණෙකින් සාකච්ඡාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය දෙසට හැරුණේය. කම්මුලට අත තබාගෙන ටික වේලාවක් ඊට ඇහුම්කන් දී සිටි ප්‍රධාන කර්තෘ ඈනුමක් හැරියේය.
"ඕයි, තමුසෙලාත් හරියට සජිත් ප්‍රේමදාසයි විපක්ෂෙ මන්ත්‍රිවරුයි වගේ හරිම බෝරිංනෙ" ඔහු උදාසීන හඬින් කීය. "මොකක් හරි නිර්මාණාත්මක දෙයක් කරන්න හිතනවකො මේක මිනිස්සු අතරට ගෙනියන්න පුළුවන් "
සභාව මොහොතකට නිහඬ විය.
මඳකට පසු ව්‍යාපාර කර්තෘ කට ඇරියේය.
"අපි පත්තරෙන් තරගයක් පටන්ගමු විසිදෙක ගැන" ඔහු සිය ව්‍යාපාර ඥානය ප්‍රදර්ශනය කරමින් කියා සිටියේය. "පාඨකයො අපි අහන ප්‍රශ්න කීපෙකට උත්තර දෙන්න ඕන. හරි උත්තරවලින් කුසපත් ඇදල ඉතා වටිනා තෑගි තුනක් දෙනවා"
ප්‍රධාන කර්තෘ වහාම සිය උනන්දුව පෙන්නුවේය.
"හරි, මොනවද අපි අහන ප්‍රශ්න ?"
සියල්ලෝම කල්පනාවට වැටුණහ. නියෝජ්‍ය කර්තෘ ඉක්මනින් අත ඉස්සුවේය.
"පළමුවැනි ප්‍රශ්නෙ, ආණ්ඩුව දිගටම විසිදෙක ඇදගෙන යයිද මගදි අතහරියිද?"
"ඒක අමාරු ප්‍රශ්නයක්නෙ" ප්‍රධාන කර්තෘ කියා සිටියේය. "මුළු රටෙන්ම ඒකට උත්තරේ දන්න අය ඉන්නෙ දෙන්නයිනෙ"
නියෝජ්‍ය කර්තෘ හයියෙන් හිනා වුණේය.
"එහෙම නම් මරුනෙ චීෆ්" ඔහු ප්‍රධාන කර්තෘට කියා සිටියේය. "එතකොට අපිට දෙවැනි ප්‍රශ්නෙට දාන්න පුළුවන්නෙ ‘මුළු රටෙන්ම පළමුවැනි ප්‍රශ්නයට පිළිතුරු දන්නා දෙන්නා කවුද ?’ කියල"
ප්‍රධාන කර්තෘ ඒ ඉල්ලීම නොසලකා හැරියේය.
ඊළඟ ප්‍රශ්නය ඉදිරිපත් කළේ ප්‍රවෘත්ති කර්තෘය.
"ආණ්ඩුව විසිදෙක ගේන්නෙ නඩු ඉක්මන් කරන්නද, නැත්නම් කවුරු හරි කෙනෙක් දිගටම සේවයේ තියාගන්නද?"
"ඒකත් අමාරු ප්‍රශ්නයක්නෙ හලෝ" ප්‍රධාන කර්තෘ කියා සිටියේය. "ඒකට උත්තරේ දන්න අය මුළු රටේම ඉන්නෙ තුන්දෙනයිනෙ"
ප්‍රධාන කර්තෘගේ පිළිතුරුවලින් පුවත්පතේ කාන්තා පිටුවේ සංස්කාරිකාවට ප්‍රශ්නයක් මතු විය.
"සර් ඔය ප්‍රශ්නවලට උත්තර දන්නෙ දෙන්නයි තුන්දෙනයි කිව්වනෙ, ඒ කවුරු කවුරුද කියල අපිට කියන්න බැරිද?" ඈ විමසුවාය. "එක්කෙනෙක් නම් ජනාධිපතිතුමා වෙන්නැතිනෙ, තව එක්කෙනෙක් හර්ෂණ නානායක්කාරද?"
ඒ ප්‍රශ්නයෙන් ප්‍රධාන කර්තෘ අමාරුවේ වැටුණේය. ඔහු නියෝජ්‍ය කර්තෘට පමණක් ඇසෙන සේ මෙසේ ඇසුවේය .
"කවුද බං ඒ?" ඔහු ඇසීය ."අර අධිකරණ ඇමැති ඇරෙන්න හර්ෂණ නානායක්කාර කියල ආණ්ඩුවෙ තව වැදගත් කෙනෙකුත් ඉන්නවද ?"
එවර අමාරුවේ වැටුණේ නියෝජ්‍ය කර්තෘය.
අනතුරුව පාඨකයාට යොමු කළ යුතු ප්‍රශ්නයක් ඉදිරිපත් කළේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘය.
"අභියෝගෙට ලක් කරන්නෙ තමනුත් පාර්ශ්වකාරයෙක් වන කාරණාවක් ගැන නිසා සුප්‍රීම් කෝට්ටෙක තමන් ඉදිරියට එන පෙත්සම් විභාග කරයිද නැද්ද ?"
"ඒකත් අමාරු ප්‍රශ්නයක්නෙ ඕයි" ප්‍රධාන කර්තෘ කලකිරීමෙන් කියා සිටියේය. "ඒකට උත්තර දන්නෙත් සුප්‍රීම් කෝට්ටෙකේ ඉන්න දහදොළොස්දෙනා විතරයිනෙ"
ඊළඟට විශේෂාංග කර්තෘ සිය පුටුවෙන් නැගිට්ටේය.
"මේක තමයි කර්තෘතුමා මෙතන වැදගත්ම ප්‍රශ්නෙ" ඔහු සිය ප්‍රශ්නයට වර්ණනාවක්ද එකතු කරමින් කීවේය. "ආණ්ඩුව විසිදෙක ගැන ජනමත විචාරණයක් තියයිද නැද්ද ?"
ප්‍රධාන කර්තෘ ඒ අසා මහ හයියෙන් හිනාවෙන්නට විය. සියල්ලෝම ඒ ප්‍රශ්නයේ ඇති හිනා යන දේ සිතාගත නොහැකිව බලා සිටියහ.
"ඇයි අයිසෙ ඔහොම පහසු ප්‍රශ්න ඉදිරිපත් කරල කොහොමද මේ වගේ බරපතළ වැඩකට" ප්‍රධාන කර්තෘ හිනාවෙමින්ම ඇසුවේය. "මේ රටේ පොඩි ළමයෙක් වුණත් දන්නවනෙ ආණ්ඩුව ජනමත විචාරණයක් තියයිද නැද්ද කියල"

