ජනතාව ප්‍රතිලාභීන් පමණක් කරන ක්‍රමයෙන් රජය සම්පූර්ණයෙන්ම බැහැර වෙනවා - අගමැති හරිනි
05 October 2026
ජනතාව ප්‍රතිලාභීන් පමණක් කරන ක්‍රමයෙන් රජය සම්පූර්ණයෙන්ම බැහැර වෙනවා - අගමැති හරිනි
05 October 2026
ප්‍රජාවගේ සැබෑ සහභාගීත්වයෙන්, සියලු දෙනාට තමන්ගේම අභිමානවත් වාසස්ථානයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදීම රජයේ ඉලක්කය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
2026 ලෝක ජනාවාස දිනය වෙනුවෙන් "අවැසි පමණට - සැමට සෙවණ" තේමාව යටතේ නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය විසින් අරලියගහ මන්දිරයේදී සංවිධානය කරන ලද ලෝක ජනාවාස දින සැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.
මෙම උත්සවයේදී දිවයින පුරා ඉදිකෙරුණු නව නිවාස 5,000 ක සංචිතයෙන් 5,000 වැනි නිවස විවෘත කිරීම සිදු කෙරුණු අතර, ප්‍රතිලාභීන්ට දේපළ හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම සහ ජයග්‍රාහකයන් වෙත සහතිකපත් පිරිනැමීමද සිදු විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, මෙතෙක් පැවති ජනතාව ප්‍රතිලාභීන් පමණක් කරන සාම්ප්‍රදායික ක්‍රමයෙන් රජය සම්පූර්ණයෙන්ම බැහැර වී ඇති බවයි. අනාගත තිරසර නිවාස ප්‍රතිපත්තිය උදෙසා මූලධර්ම 9 ක් පදනම් කරගත් නව ප්‍රතිපත්තිමය වෙනස්කම් රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඇය පෙන්වා දුන්නාය.
ජනාවාස තෘප්තතා දර්ශකය (HSI): දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ජනතාව තමන් ජීවත්වන ජනාවාසය පිළිබඳ තෘප්තිමත්භාවය මැන බැලීම සඳහා මෙම නව සංකල්පය හඳුන්වා දී ඇත.
හරිත ජනාවාස අභියෝගය: ‘Clean Sri Lanka’ වැඩසටහන සමඟ එක්ව ඵලදායී ගෙවතු භාවිතය, වැසි ජලය රැස්කිරීම සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් මෙය ක්‍රියාත්මක කෙරේ.
පරිසර හිතකාමී වැඩසටහන්: ජනාවාස ආශ්‍රිතව පැළ මිලියනයක් සිටුවීමේ "One Million Trees for Human Settlements" වැඩසටහන සහ "මගෙ ලස්සන පුංචි ගෙදර" සංකල්පය මෙහිදී ප්‍රචලිත කෙරේ.
උත්සවය අමතමින් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ ප්‍රකාශ කළේ, රජයේ ආධාර ඇතිව ක්‍රියාත්මක වන කිසිදු නිවාස ව්‍යාපෘතියක් අතරමග නැවැත්වීමට ඉඩ නොදෙන බවය.
2026 වසර සඳහා ආරම්භ කර ඇති නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස 30,000 ක් සාදා නිම කිරීමට අපේක්ෂිත බවද හෙතෙම සඳහන් කළේය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ ජනාවාස වැඩසටහනේ සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

