මසුන් ඇල්ලීමට ගිය අයෙක් වන අලි ප්‍රහාරයකින් මියයයි
23 September 2026 | චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය - ගලෙන්බිදුණුවැව
මසුන් ඇල්ලීමට ගිය අයෙක් වන අලි ප්‍රහාරයකින් මියයයි
23 September 2026 | චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය - ගලෙන්බිදුණුවැව
ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් හුරුලුනිකවැව, රත්මල්වැටිය ලිපිනයේ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකින් මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ මොරගොඩ පොලිස් වසමේ පලුගස්වැව අංක 600 ග්‍රාම සේවා වසමට අයත්, හුරුලුවැවේම කොටසක් වන ඉබ්බිගේ වැව ප්‍රදේශයේදී ඊයේ (22) සවස 6.30 පමණ ධීවර රැකියාවේ (මසුන් ඇල්ලීමේ) යෙදී සිටියදී මෙම වන අලි ප්‍රහාරයට මුහුණ දී ඇත.
ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ලාල් අබේරත්න මහතා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් පුද්ගලයන් දෙදෙනා දිවගොස් පණ බේරාගෙන තිබේ.
ඔවුන් මසුන් ඇල්ලීමට පැමිණි යතුරුපැදි දෙකද වන අලි ප්‍රහාරයට ලක්වීමෙන් ඒවාට සුළු හානි සිදුව ඇත.
මොහු ධීවර රැකියාව මූලික කරගනිමින් ජීවිකාව ගෙනයාමට උත්සාහ කළ අයෙකු වන අතර, තම මළ සිරුර තබාගැනීමට තරම්වත් හරිහමන් නිවහනක් නොමැතිව අන්ත අසරණ තත්ත්වයෙන් පසුවී ඇති බැවින්, මියගිය අයගේ දේහය වෙනත් ඥාති නිවසක තැන්පත් කිරීමට නියමිත බව ඥාතීහු පවසති.
අද (23) උදෑසන කැකිරාව හදිසි මරණ පරීක්ෂකවරයා පැමිණ ස්ථානීය මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් පසු දේහය ඥාතීන්ට භාර දී ඇත.
කෙසේ වෙතත්, මෙම වන අලි ප්‍රහාරය සිදුව ඇත්තේ පලුගස්වැව අංක 600 ග්‍රාම සේවා වසමට අයත්, රජය විසින් ඉදිකරන ලද විදුලි වන අලි වැටට ඇතුළතින් පිහිටි හුරුලුවැව ඉබ්බිගේ වැව ප්‍රදේශයේ වීම හේතුවෙන් වන්දි මුදල අහිමි වන බව මොරගොඩ වනජීවී කාර්යාලයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී අනාවරණය විය.
සිද්ධිය සම්බන්ධයෙන් මොරගොඩ පොලිසිය හා වනජීවී කාර්යාලය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

