Best News Website award
brand logo
logo
 ඇමරිකානු ගුවන් හමුදාවේ ප්‍රධාන පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක්

ඇමරිකානු ගුවන් හමුදාවේ ප්‍රධාන පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක්

28 November 2026


ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ ප්‍රධාන පරිගණක පද්ධතියක් වන ‘ක්ලවුඩ් වන්’ (Cloud One) වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.


රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, හැකර්වරුන් මෙම පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී ඇති අතර, ඒ හේතුවෙන් සංවේදී හමුදා තොරතුරු සහ නිලධාරීන් ඇතුළු පිරිස් සම්බන්ධ දත්ත අනාවරණය වීමේ අවදානමක් මතුව තිබේ.


කෙසේ වෙතත්, මෙම සයිබර් ප්‍රහාරය පිටුපස සිටින කණ්ඩායම කවුරුන්ද යන්න හෝ ප්‍රහාරය හරහා දත්ත සොරකම් කිරීමක් සිදුවී තිබේද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත.


‘ක්ලවුඩ් වන්’ පද්ධතිය තුළ ඇමරිකානු ගුවන් හමුදාවේ පරිපාලන කටයුතු, මානව සම්පත් කළමනාකරණය, සැපයුම් මෙහෙයුම් සහ යුද උපකරණ නඩත්තු කිරීම සඳහා භාවිත කරන පරිගණක යෙදුම් රැසක් ක්‍රියාත්මක වේ.


මෙම සිදුවීම පිළිබඳව දැනුවත් පුද්ගලයින් තිදෙනෙකු රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ, ගුවන් හමුදාව විසින් පද්ධතිය වැඩිදියුණු කිරීමේ කටයුතු සිදුකරමින් සිටියදී පසුගිය මාසයේදී මෙම ආරක්ෂක දුර්වලතාව අනාවරණය කරගෙන ඇති බවයි.


ඇමරිකානු ගුවන් හමුදාව සඳහා මධ්‍යගත පරිගණක යටිතල පහසුකම් සැපයීමේ අරමුණින් ‘ක්ලවුඩ් වන්’ පද්ධතිය 2017 වසරේදී ස්ථාපිත කර තිබේ.


එහි තාක්ෂණික මෙහෙයුම් ප්‍රධාන තාක්ෂණික සමාගම් හතරක සේවාවන් මත රඳා පවතින අතර, ඒ අතර Microsoft, Amazon, Oracle සහ Alphabet සමාගම් ද වන බව වාර්තා වේ.

 

More News..