ශ්රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් 43 ක් අධිකාරියට
18 October 2026
ශ්රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් 43 ක් අධිකාරියට
18 October 2026
ශ්රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් හා හමුදා කැඩෙට්යන් අධිකාරියට පත්කිරීමේ හා පියාසර නිල ලාංඡන පැළඳවීමේ පෙළපාලිය ආරක්ෂක ලේකම්තුමන්ගේ ප්රධානත්වයෙන් චීනවරාය විද්යාපීඨයේදී පැවැත්විණි
"සුරකිමු ලකඹර" පාඨය තේමා කර ගනිමින් ශ්රී ලාංකීය නිල් ගුවන සුරකින ශ්රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් කර්තව්යයට උරදීම සඳහා එක්වන කැඩෙට් නිලධාරීන් හා නිලධාරිනියන් අධිකාරියට පත්කිරීම හා පියාසර නිල ලාංඡන පැළඳවීමේ පෙළපාලිය ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්තා (විශ්රාමික) මැතිතුමන්ගේ ප්රධානත්වයෙන් හා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ නිලධාරිතුමාගේ සහභාගීත්වයෙන් ගුවන් හමුදා චීනවරාය විද්යාපීඨයේදී (2026 ඔක්තෝබර් 16 වන) අද දින උදෑසන අභිමානවත්ව සිදු කරන ලදී.
මෙහිදී කැඩෙට් නිලධාරීන් 29 දෙනෙකු සහ නිලධාරිනියන් 14 දෙනෙකු ඇතුළු 43 දෙනෙකු අධිකාරියට පත් වූ අතර එම නිලධාරීන් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ අංක 37, 39 සහ 40 කැඩෙට් පාඨමාලාව, ගුවන් හමුදා අංක 65, 67 හා 69 වන කැඩෙට් නිලධාරී පාඨමාලාව, අංක 21 වන කැඩෙට් නිලධාරිනී පාඨමාලාවන් නියෝජනය කරන ලදී.
මෙම කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත්කරනු ලැබූ පෙළපාලියේ අණදෙන නිලධාරී ලෙස ගෲප් කැප්ටන් චමිල් හෙට්ටිආරච්චි කටයුතු කළේය. ඉන් අනතුරුව ශ්රී ලංකා ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම සහ ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය එක්ව විචිත්රවත් සරඹ සංදර්ශනයක් ද ඉදිරිපත් කරන ලදී. ලකඹර ජයගත් ගුවන් හමුදා පැරෂුට් භටයින් නිල් අහසේ තම අණසක පතුරවමින් නිදහසේ එක් එක් රටා මවමින් පැරෂුට් සංදර්ශනයක් ද, අංක 01 පියාසර පක්ෂාංගය විසින් ගුවන්යානා සංදර්ශනයක් ද ඉදිරිපත් කරනු ලැබීය.
මෙම විසිරයාමේ උත්සවය සඳහා ශ්රී ලංකා ගුවන් හමුදා අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරීන්, ත්රිවිධ හමුදා සහ පොලීසියේ ජ්යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ආධුනික කැඩෙට් නිලධාරී/නිලධාරිනියන්ගේ දෙමාපියන් විශාල පිරිසක් ද සහභාගී වූහ.
මෙම පාඨමාලාවන්හි සුවිශේෂී දක්ෂතා දැක්වූ කැඩෙට් නිලධාරී/නිලධාරිනියන් හට විශේෂ සම්මාන ප්රදානය කරන ලදී:
• පියාසර නිල ලාංඡන පැළඳවීම: ෆ්ලයින් ඔෆිසර් පී. වී. බිනාදිත්
• සෑම අතින්ම දක්ෂතම කැඩෙට් නිලධාරී: පයිලට් ඔෆිසර් එච්. ජී. ඩබ්ලිව්. ඩී. ජයරත්න
• දක්ෂතම ගුවන් නියමු කැඩෙට් නිලධාරී: පයිලට් ඔෆිසර් ආර්. එම්. එච්. කේ. රත්නායක
• දක්ෂතම පරිපාලන කැඩෙට් නිලධාරී: පයිලට් ඔෆිසර් එච්. ජී. ඩබ්ලිව්. ඩී. ජයරත්න
• දක්ෂතම තොරතුරු තාක්ෂණ ඉංජිනේරු කැඩෙට් නිලධාරී: පයිලට් ඔෆිසර් බී. පී. සචින්ත
• දක්ෂතම පරිපාලන රෙජිමේන්තු කැඩෙට් නිලධාරී: පයිලට් ඔෆිසර් ටී. එච්. කේ. මෙන්ඩිස්
• දක්ෂතම ගුවන් මෙහෙයුම් කැඩෙට් නිලධාරී: පයිලට් ඔෆිසර් වයි. එම්. ඩී. පී. බණ්ඩාර
• දක්ෂතම සැපයුම් - පරිපාලන කැඩෙට් නිලධාරී: පයිලට් ඔෆිසර් එස්. ආර්. ඇලෙක්සැන්ඩර්
• දක්ෂතම ගුවන් පියාසර හා තාක්ෂණික පරිපාලන කැඩෙට් නිලධාරී: පයිලට් ඔෆිසර් එම්. බී. එම්. උයාරා

