brand logo
logo
 ජාතික විජයග්‍රාහී සැමරුම හෙට

ජාතික විජයග්‍රාහී සැමරුම හෙට

18 May 2026

යුධ ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය“ සාම්ප්‍රදායික ලෙස පෙර වසරවල මෙන්ම මේ වසරේ දී හෙට (19) පැවැත්වීමට නියමිතව තිබේ.


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිත බව රණවිරු සේවා අධිකාරිය සදහන් කළේය.


මෙවර සැමරුම් උත්සවය සදහා පළමුවරට උතුරු නැගෙනහිර ප්‍රදේශවල දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් ද එක්වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බි.කොහොන මහතා පැවසුවේය.


එහිදී අදහස් දැක්වූ රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බි.කොහොන මහතා,


"පසුගිය වසරවල වගේම මේ වසරෙත් මැයි 19 වෙනිදාට බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී මේ සැමරුම් උත්සවය පැවැත්වෙනවා.. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන්.. ම‍ෙවර පැවැත්වෙන්නේ 17වෙනි සැමරුම් උත්සවය. සුවිශේෂී වෙනස්කම් කීපයක් අපි සිදු කරලා තියෙනවා.. වෙනදට වැඩියෙන් රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සහභාගිත්වය විශාල වශයෙන් වැඩි කරලා තියෙනවා.. උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් අපිත් එක්ක යුද්ධයේදී ත්‍රිවිධ හමුදාවට එක්වෙලා යුද වැදිලා මේ රටේ නිදහස ස්ථාපනය කරන්නට කැපවෙච්ච උතුරු නැගෙනහිර ද්‍රවිඩ සහ මුස්ලිම් රණවිරුවන් සමූහයක් ඉන්නවා. අපි බොහෝ විට ඔවුන්ගේ සම්බන්ධතාවය අඩුවෙන් තමයි අරගෙන තියෙන්නේ. ඒ නිසා අපි විශේෂ අවස්ථාවක් මේ සැරේ උදා කරලා දීලා තියෙනවා උතුරු නැගෙනහිර දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් මේ උත්සවයට සහභාගි කරවා ගැනීමට. 30ක විතර ප්‍රමාණයකට අපි ඇරයුම් කරලා තියෙනවා, ඔවුන්ගේ සහභාගිත්වය සනාථ කරලා තියෙනවා. ඒ අනුව සුවිශේෂී අවස්ථාවක් හැටියට අතිගරු ජනාධිපතිතුමන් එක්ක තමන්ගේ මියගිය ඥාතියා වෙනුවෙන් ජාතියේ ගෞරවයට එකතු වෙලා තමන්ගේ ගෞරවය පුද කිරීමේ අවස්ථාව අපි ඔවුන්ට ලබා දීලා තියෙනවා."


එහිදී අදහස් දක්වමින් රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ගෘෘප් කැප්ටන් එල්.එම්.සී.ඩී.නිශ්ශංක මහතා සඳහන් කළේ යුද, නාවික, ගුවන්, පොලිස් හා විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ශිෂ්‍ය භට බලකාය, රණසේවා අධිකාරිය සහ රණවිරු දෙමව්පියන් මෙන්ම ඥාතීන් සහ විශේෂ ආරාධිතයන් ඇතුළුව 2,769 දෙනෙකු මේ සඳහා සහභාගී වීමට නියමිත බවය.


රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ගෘෘප් කැප්ටන් එල්.එම්.සී.ඩී.නිශ්ශංක මහතා,


''මෙහිදී අපි සියලුම යුද, නාවික, ගුවන්, පොලිස් හා විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ශිෂ්‍ය භට බලකාය, රණසේවා අධිකාරිය සහ රණවිරු දෙමව්පියන් සහ ඥාතීන් සහ විශේෂ ආරාධිතයන් ඇතුළුව 2,769 දෙනෙකු එදා දවසේ සැමරුමට සහභාගි වෙනවා.. රණවිරු දෙමව්පියන් විදිහට මෙවර අපි 160දෙනෙකුට අවස්ථාව ලබා දීලා තියෙනවා ප්‍රධාන සැමරුම අවස්ථාවට සහභාගි වෙන්න. මේ ප්‍රෝග්‍රෑම් එක අපි හවස 6.45 විතර වෙද්දී නිමා කිරීමටත් බලාපොරොත්තු වෙනවා."


මේ අතර රණවිරු දිනය සම්බන්ධයෙන් අද දෙරණ සමග අදහස් දැක්වු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා,


"වසර 30ක තිබ්බ ත්‍රස්තවාදී යුද්ධයක් ජයග්‍රහණය කරලා අද වෙනකොට වසර 17ක් සම්පූර්ණ වෙනවා. ඇත්තම කියනවා නම් අපි පරාජය කළේ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය. තාමත් රටවල් 32ක් එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේක නිකන් ලබපු ජයග්‍රහණයක් නොවෙයි. අපේ රණවිරුවෝ 29,000ක් මැරුණා, ඒ වගේම 14,000ක් ආබාධිත වුණා. අනිත් අය සටන් කරලා ජීවිතය බේරුණත් ඒගොල්ලන්ගේ තරුණ කාලය සම්පූර්ණයෙන්ම රට වෙනුවෙන් කැප කළා. අන්න ඒ ජය තමයි අපි අද සමරන්නේ සහ සැමරිය යුත්තේ. ත්‍රස්තවාදයේ නායකයෝ මිනිස් පවුරක් වගේ තියන් හිටියා අහිංසක දෙමළ ජනතාව. ඒ අය යුද හමුදාවලට දුවගෙන යනකොට වෙඩි තියලා මැරුවා. එතකොට ඒ දෙමළ ජනතාව 2,95,000ක් බේරාගෙන තමයි අපේ රණවිරුවෝ මේ යුද්ධයේ ජයග්‍රහණය කළේ. ඒක ලෝකයේ විශාලතම ප්‍රාණ අපකරුවන් සංඛ්‍යාවක් මුදාගැනීම සම්බන්ධයෙන් ඒක ලෝක වාර්තාවක්. ඒ සම්පූර්ණයෙන්ම ගෞරවය අපේ හමුදාවට තියෙනවා. නමුත් ඒ රණවිරුවාට අද රණවිරුවා කියලා කියන්න දිව නැමෙන්නේ නැති නායකයෝ ඉන්න රටකයි අපි අද ඉන්නේ. නමුත් සාමය අගයන සමස්ත ශ්‍රී ලංකා වැසියන්ම අද රණවිරුවාට ගරු කරනවා. ඒක ඇත්ත වශයෙන්ම රණවිරුවන් හැටියට අපට විශාල සතුටක් සහ දිරිගැන්වීමක්."

 

More News..