'රටම එකට' මෙහෙයුමෙන් සැකකරුවන් 438,330ක් අත්අඩංගුවට
05 November 2026
'රටම එකට' මෙහෙයුමෙන් සැකකරුවන් 438,330ක් අත්අඩංගුවට
05 November 2026
'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී මේ දක්වා සැකකරුවන් 438,330 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අද (5) පැවැති 'රටම එකට' ජාතික මෙහෙයුමේ ආගමික සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාවෙන් 405,268 දෙනෙකු අයිස් සහ හෙරොයින් සම්බන්ධ වැරදි සඳහා බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මේ අතර අත්අඩංගුවට පත් පිරිස අතර අවුරුදු 5 ත් 14 ත් අතර වයසේ පසුවන දරුවන් 13 දෙනෙකු ද සිටින බව ජනාධිපතිවරයා විශේෂයෙන් සඳහන් කළේය.
මීට අමතරව ඉහත සමස්ත අත්අඩංගුවට ගැනීම් අතර වයස අවුරුදු 21ට අඩු තරුණයන් 11,737 දෙනෙකු සිටින බවත්, ඒ අතරින් වයස අවුරුදු 18ත් 21ත් අතර 10,889 දෙනෙකු සහ අවුරුදු 14ත් 18ත් අතර 1,068 දෙනෙකු සිටින බවත් වැඩිදුරටත් අනාවරණය කළේය.
රට තුළ බාලවයස්කාර දරුවන් මත්ද්‍රව්‍ය සඳහා යොමුවීමේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවද දත්ත උපුටා දක්වමින් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ඒ අනුව 2022 වසරේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ වයස අවුරුදු 18ට අඩු එක් අයෙකු පමණක් වුවද, 2023 දී එම සංඛ්‍යාව 303 දක්වාත්, 2024 දී 754 දක්වාත් ඉහළ ගොස් ඇත.
2025 වසර වනවිට එය 1,824ක් දක්වා වර්ධනය වී තිබේ.
"අපේ ළමා ළපටීන් මේ ව්‍යසනයට ගොඳුරුවෙලා. මේ ව්‍යසනය අපේ රටේ මුළු අනාගතයම ව්යසයනට පත්කරමින් ඉන්නවා.
මේ ව්‍යසනය පරාජය පත්කිරීම සඳහා ආරම්භයේදී ජනතාවට පොරොන්දුවක් වුණා මේ ව්‍යසනය අපේ රටෙන් මුළු මනින්ම උපුටා දමන බවට. අපි පියවරෙන් පියවර මේ විනාශකාරිත්වයේ දොරටුව විවෘත කළා. අපි එළියේ ඉඳන් බලනවිට තිබුණ විනාශයට වඩා විශාලයි මේ ගැඹුරට අපි කිඳා බැහැලා අධ්‍යනය කරනකොට.
ඒ නිසා විශාල විනාශකාරිත්වයක් පිරුණු ගුහාවක දොරටුව අපි විවෘත කළා. ඒ දොරටු විවෘත කිරීම හරහා කලබලයට පත්වූ පිරිසක් ඉන්නා බවත් අපි දන්නවා. අපි තෝරාගත් මාවත් දෙකක් තිබෙනවා. එක මාවතක්...මෙයට එරෙහි වන්නන්ට අපි යටත් වී මේ ගමන අත්හරින එක.
දෙවන මාවත කුමන බාධක හමුවේ මේ ව්‍යසනය පරාජය කිරීමට අපි ගත් උත්සාහය සාර්ථකය ජයග්‍රහණයක් කරා ගොස් කළවර කිරීම. අපි ආණ්ඩුවක් ලෙස තෝරාගෙන තිබෙන්නේ දෙවැනි මාවත. සහතික වශයෙන් මේ ව්‍යසනය අපි පරාජය කරනවා.
ජාතියක් ලෙසට ගොඳුරුවී තිබෙන ප්‍රධානම ව්‍යසනය මේක. මේ උවදුරෙන් අපි අපේ ජාතිය බේරාගත යුතුයි" යැයි සඳහන් පැවසීය.

