brand logo
logo
පොලිස් නිලධාරීහුද මනුෂ්‍යයෝය!

පොලිස් නිලධාරීහුද මනුෂ්‍යයෝය!

03 September 2026 | •ඉන්ද්‍රජිත් සුබසිංහ

වැදූ මවත් හිස් අහසත් තරම් බැනුම් අහන වෙනත් කිසිවක් මෙලොව නැතැයි කියමනකි. සැබැවින්ම දරුවන්ගේ වැරැදි නිසා බැනුම් අසන එම දරුවන් වැදූ මවත්, වැස්සේ වුවද, පෑයුවේ වුවද බැනුම් අසන අහසත් හා හරි හරියට බැනුම් අසන තවත් කෙනෙක් ඇත්නම් ඒ පොලිස් නිලධාරියාය. අතිශෝක්තියක් නොවේ. මේ සා සමාජයෙන් බැනුම් අසන පොලිස් නිලධාරියාගේ සැබෑ වෘත්තීය යථාර්ථය මේ බැනුම් බනින්නෝ දනිත් නම් බැනුම් වෙනුවට ඔවුන් වෙනුවෙන් හැඬුම් එනු ඇත. වත්මනේ ‘පොලිස් රස්සාව’ ඒ සා කටුකය. පීඩිතය. වේදනාසහගතය.


පොලිස් දිනයේදී කථා නොකෙරෙනුයේ එයය. නමුත් සැබැවින්ම මතුකළ යුත්තේ කාකි කෝට් යට සිටින වෘත්තීය වින්දිතයාය. පොලිස් නිලධාරියකුට සැබෑ ලෙසම අභිමානයෙන් සැමරිය හැකි පොලිස් දිනයක් උපදිනුයේ ඒ ‘වෘත්තීය වින්දිතයා’ට සාධාරණය ඉටුවූ දිනයටය. මේ ලිපිය ලියැවෙන්නේ ඒ අරමුණෙන් යුතුවය.


සංසාරය වැනි සේවා මුර

මේ බොහෝ ගැටලු පැනනගිනුයේ පොලිසියේ මිනිස් බලය අවම වීම හේතුවෙනි. මෙරට පොලිස් සේවය ක්‍රියාත්මක කිරීම පිණිස 84,000ක පමණ පිරිසක් අවශ්‍ය යැයි කියනු ලැබේ. නමුත් පොලිස්පතිවරයාම පවසන අන්දමට, අදවන විට මෙම දෙපාර්තමේන්තුවේ සිටිනුයේ 38,000ක් පමණි. ඒ අනුව බැලූවිට, පොලිසියේ දෙදෙනෙකු අවශ්‍ය තැනකට සිටිනුයේ එක් අයෙකි. වෙනත් අයුරකින් නම් පොලිසියේ එක් අයෙක් දෙදෙනකුගේ වැඩ කළ යුතුය.

පොලිසියේ සේවාමුරයත්, මෙම නිලධාරී හිඟයත් අතර ඇත්තේ ඉතාම අසාධාරණ සම්බන්ධයකි. සාමාන්‍ය රැකියාවක් කරන අයකුගේ සේවාමුරය පැය 8ක් වුවද, පොලිසියේ අයෙකුට පැය 12ක් හෝ 18ක් දක්වා අඛණ්ඩ සේවාමුරයක් ගතකිරීමට සිදුවේ. පොලිසියේ භාෂාවෙන් ‘ඩබල් ඩියුටි’ ආදී වශයෙන් හඳුන්වනු ලබන මෙම දීර්ඝ සේවාමුරයන් දරාගැනීම පහසු නැත. හදිසි කැඳවීම්, දේශපාලන ප්‍රභූ ආරක්ෂාව, උද්ඝෝෂණ සහ මහජන නොසන්සුන්තා පාලනය වැනි අවස්ථාවලදී පැය 24කට වඩා වැඩි කාලයක් වුව අඛණ්ඩව රාජකාරියේ යෙදීමට සිදුවන අවස්ථාද ඇත්තේය.


සිතත් ගතත් හඹා එන අර්බුද

දීර්ඝ සේවා මුරයක් සමගින් දෙදෙනකුගේ වැඩ එකට කිරීමට සිදුවන පොලිස් නිලධාරියා ලුහු බැඳ එන අනෙක් විපාකය වනුයේ බෝ නොවන රෝගය.

ප්‍රමාණවත් නින්දක් සහ විවේකයක් නොමැති වීම නිසා මෙම නිලධාරීන් දැඩි මානසික සහ ශාරීරික ව්‍යාකූලතාවලට ලක්වේ. මෙහි ප්‍රතිඵලය වනුයේ තරුණ වයස ඉක්මන්නටද මත්තෙන් අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග සහ ආමාශගත රෝග වැනි බෝ නොවන රෝගවලට ලක්වන්නට පොලිස් නිලධාරියාට සිදුවීමය.

පොලිසිය යනු බණ ඇසෙන, සිත නිවෙන තැනක් නොවේ. පොලිසියට යෙදෙන තරමක් යෙදෙන්නට සිදුවන්නේ සමාජයේ අපරාධ, අනතුරු සහ නේකවිධ ප්‍රශ්න ආදිය සමගය. මේවා හේතුවෙන් ඇතිවන ආතතිය සමනය කර ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව තුළ විධිමත් මානසික උපදේශන පද්ධතියක් තවමත් ක්‍රියාත්මක වගක් නොපෙන්


අව් - වැසි - දුම් මැද බැරැක්ක ජීවිත

දිවයිනේ බොහෝ පොලිස් ස්ථානවල නිලධාරීන්ට මූලික පහසුකම් පවා හිමි නොවන්නේය. නිලධාරීන්ට වෙන්කර ඇති බැරැක්ක බොහොමයක ප්‍රසන්න වටපිටාවක් නැත. ප්‍රමාණවත් ඉඩකඩක් නැත. වැසිකිලි, ස්නානය සඳහා වූ පහසුකම් මෙන්ම පිරිසිඳු පානීය ජලය ආදිය පවා මේවායේ හිඟය. මෙය ඔවුන්ගේ දෛනික ජීවිතය අප්‍රසන්න කරවන්නකි.

රථවාහන හැසිරවීමේ යෙදෙන නිලධාරීන් විඳිනුයේ අපා දුකකි. මෙම වගකීම පැවරුණු නිලධාරීන් එය ඉටුකරනුයේ අව්වද, වැස්සද, දුහුවිල්ලද, ශබ්දයද ඔවුනට හතරවටින් පහර දෙද්දීය. මේවාට සැබෑ ලෙස ඔරොත්තු දෙන හෝ ඒවා දරාගැනීමට හැකිවන ආකාරයේ ඇඳුම් පැලඳුම් හෝ ආරක්ෂිත උපකරණ ඒ නිලධාරීන්ට පිරිනමා ඇත්තේද?

නිකමට සිතන්න..... පාසල් නිමවන වේලාවට, ඒ ගිනිගහන අව්වේ, සියයට 65ක් හෝ 85ක් පමණ පොලියෙස්ටර් සංයුතියකින් සමන්විත රළු ඇඳුමකින් සැරසී, රථවාහන තදබදය මතින් නැගෙන දුමද ආශ්වාස කරන අතරතුර විසිල් ද පිඹිමින් මංසන්ධියක් මධ්‍යයේ සිටගෙන සිටින්නට වුවහොත්....

විටෙක සාමාන්‍ය පුද්ගලයන් ලෙස අපට දරගන්නට තබා සිතන්නටවත් අපහසු පරිසරයක භාරදූර කාර්යයක් සිදුකිරීමට පොලිස් නිලධාරියාට සිදුව ඇත්තේය.

පොලිස් නිලධාරීන් බොහොමයකට රාජකාරි පිණිස යෑමට සිදුව ඇත්තේ පොදු ප්‍රවාහනයෙන් හෝ තමන්ගේම යතුරු පැදිය ආදියෙන් වීමද ඔවුන් විඳින ගැහැටකි. අපරාධ ස්ථානයකට යාමට හෝ විමර්ශනයකට පිටත්ව යාමට අවශ්‍ය තරම් ඉන්ධන හෝ වාහන පහසුකම් සොයාගැනීමද පොලිසියට අභියෝගයක් වූ කල, එම සේවය කෙසේ නම් කාර්යක්ෂමව ඉටුකරන්නද?

බාලේන්ද්‍ර හෙවත් පොලිස් නිලධාරියාගේ ඛේදාන්තය

මේ උදාවී ඇත්තේ, පාතාලයන් විසින් දුරකථන ඇමතුම් ගෙන පොලිස් නිලධාරීන්ට පස් පඩංගුවේ බැනවදින කාලයකි. එම නිලධාරීන්ගේ දරුවන්ට පවා ජීවිත තර්ජන එල්ල කරන කාලයකි. ඒ තරමටම පාතාලය බලවත් වද්දී, පොලිස් ස්ථානයේ හතරමායිමෙන් එපිට පොලිස් නිලධාරියාට ඇති අනාරක්ෂිතබව පිළිබඳ තවම නිසි තක්සේරුවක් කර ඇත්තේද? තැනක් නොතැනක් නොමැතිව ගොදුරු සොයන පාතාලයේ මස් වැද්දන් හමුවේ පොලිස් නිලධාරීන්ගේ ජීවිත සුරක්ෂිත ද?

එක් පසෙකින් පාතාලයේ තුවක්කු කටටද, තවත් පසෙකින් පාතාලය විසින්ම අයුතු ලෙස යොදාගන්නා මානව හිමිකම්, වින්දිතයන් සුරැකීම පිණිස ඇති අනපනත් ආදියටද මැදිව හුස්ම යනතුරු තැලෙන්නට පොලිස් නිලධාරීන්ට සිදුව තිබීම අතිශය දරුණු ඛේදවාචකයකි. එම ඛේදවාචකය ගැන ආසන්නම උදහාරණය වනුයේ දකුණේ පාතාලය මැඩලීම පිණිස ක්‍රියාකළ පොලිස් පරීක්ෂක ඩී. බාලේන්ද්‍රය. සිය රාජකාරිය ඉටුකරමින් සිටියදී, ඒ හේතුවෙන්ම වින්දිතයන් ආරක්ෂාකිරීම පිණිස පැනවූ නඩුවක සිදුවීමක් මත 2022 මාර්තු 8 වැනිදා සිට 2023 සැප්තැම්බර් මස 26 වැනිදා දක්වාම හිරබත් කෑමට සිදුවූ ඔහු අවසානයේ මියගියේ 2023 ඔක්තෝබර් 9 වැනිදා අදාළ නඩුවට පෙනී සිටීමෙන් අනතුරුව නැවත පැමිණෙමින් සිටියදීය. එම නිලධාරියාගේ පාතාල මර්දන ක්‍රියාකාරකම් හමුවේ ඔහු සමග වෛර බැඳ සිටි පාතාලයකු විසින් තුවක්කුකරුවකු එවා මහමගදී ඔහුව බිල්ලට ගැනුණි.

බාලෙන්ද්‍ර එකී නඩුවේ පැටලුනේ සිය වැට මායිමේ ප්‍රශ්නයකට නොව, පොලිස් දෙපාර්ත්මේන්තුවට අදාළ රාජකාරියක් ඉටුකිරීමට යෑම නිසාය. ඔහු පාතාලයේ ඉලක්කයක් බව දැන දැනත්, තම දෙපාර්තමේන්තුව නිසාම පැටලුනු නඩුවක ඔහු හුදෙකලා කර, අවසානයේ අතිශයින් අනාරක්ෂිත බවට පත්කර මහ පාරේ මැරුම්කන තැනත පත්කළේ පොලිස් දෙපාර්තමේන්තුවම නොවේද?

තත්ත්වය එසේ නම්, රාජකාරිය ඉටු කිරීමේදී යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවහොත් දෙපාර්තමේන්තුව තමන් වෙනුවෙන් පෙනී සිටීද යන්න පිළිබඳව ඉහළ සිට පහළටම පොලිස් නිලධාරීන් තුළ බියක් ඇතිවීම නොවැලැක්විය හැකිය.


චුට්ටං වැටුප් - සොච්චම් වන්දි

සමහර අවස්ථාවල අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ප්‍රහාරයන්ට ලක්ව මියගිය සහ ආබාධිත වූ පොලිස් නිලධාරීන් වෙනුවෙන් පවුලට ලැබෙන වන්දි මුදල හෝ අනාගත රැකවරණය ප්‍රමාණවත් නැත. රාජකාරි ඉටුකිරීමට යෑමේදී නඩුවක් පටලවාගතහොත් තම දේපළ විකුණා හෝ නඩු කියන්නට මිස, පොලිස් දෙපාර්තමේන්තුව දෙසින් නිසි නීතිමය සහයක් ලැබෙනුයේද නැත.

මේ සියලු අවදානම් දරාගන්නා පොලිස් නිලධාරීන්ට ලැබෙනුයේ සොච්චම් වැටුපකි. ජීවිත පරිත්‍යාගයෙන් සහ නිසි වේලාවක් නොමැතිව සේවය කළද, පොලිස් නිලධාරියෙකුගේ මූලික වැටුප සහ අතිකාල දීමනා පවතින්නේ අතිශය පහළ මට්ටමකය. දැඩි අවදානම් සහිත රාජකාරියක යෙදුණද, ලැබෙන අවදානම් දීමනාව ද සොච්චමකි. මෙයින් නැගෙන ආර්ථික පීඩනය සහ පවුලේ නඩත්තුව හමුවේ පවතින අසහනය හේතුවෙන් ඇතැම් පහළ නිලධාරීන් අල්ලස් ගැනීමට හෝ දූෂිත ක්‍රියාවලට පෙළැඹීම නොවැලැක්විය හැකිය. එය සාධාරණීකරණය කළ නොහැකි වුවද, එහි මූලික හේතුව ඔවුන් මුහුණ දෙන අතිශය ආර්ථික අපහසුතාවයන් බව පිළිගත යුතුය.


මෙම යථාර්ථයන් සමාජය හඳුනන බැවින් අද පොලිසියට බැඳෙන්නට අයැදුම් කරන්නෝ අවම වී ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවේ පහළ නිලධාරීන්ට පමණක් නොව, පොලිස්පතිවරයා පවා සිටිනුයේ අවදානමකය. අවසන් වශයෙන් එම තනතුර දැරූ තිදෙනාටම අත්වූ ඉරණම් සැලකූ විට ‘පොලිස්පති නතතුර දෙන්නම්’ කියා හෝ පොලිස් සේවය පිණිස යමෙකු කැඳවීම පහසු නොවනු ඇත.

ඒ අනුව බැලූ විට පොලිස් දිනයේ සැබෑ තේමාව විය යුත්තේ ‘පොලිස් නිලධාරීහුද මනුෂ්‍යයෝය’ කියාය.

 

More News..