ඩෙංගු වසංගතය පාලනය කරන්න එන්නත දැන් ගෙන්වූවාට ප්‍රයෝජනයක් නෑ
15 July 2026 | සටහන - ශ්‍රියානි විජේසිංහ
ඩෙංගු වසංගතය පාලනය කරන්න එන්නත දැන් ගෙන්වූවාට ප්‍රයෝජනයක් නෑ
15 July 2026 | සටහන - ශ්‍රියානි විජේසිංහ
මේ වන විට අධිවසංගත තත්ත්වයක් ලෙස පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ඩෙංගු එන්නතක් මෙරටට ගෙන්වීමේ අවශ්‍යතාවක් ඇති බව විවිධ පාර්ශ්ව කියයි. එලෙස ඩෙංගු පාලන එන්නතක් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් මේ වන විට අවශ්‍ය සාකච්ඡා කෙරෙමින් පවතින බව ද කියැවෙයි. එම එන්නත සම්බන්ධයෙන්බොහෝ දෙනෙකුගේ අවධානයද යොමුව ඇත. ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා මෙරටට ගෙන්වනවා යැයි කියන එන්නත පිළිබඳව හා ඩෙංගු වසංගත තත්ත්වයට අදාල තවත් කාරණා කිහිපයක් සබන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂිකා, මහාචාර්ය නීලිකා මලවිගේ සමඟ "අරුණ" කළ සාකච්ඡාවකි මේ.
2017 වර්ෂයෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුතම ඩෙංගු වසංගත තත්ත්වය මේ වසරේ ඇතිවී තිබෙන බව සෞඛ්‍ය විශේෂඥයින් කියනවා. මෙවර ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවෙන්න හේතුව මොකක්දද?
වසර 2016දී තමයි කොස්මපොලිටන් කියන ප්‍රභේදය දක්නට ලැබුණේ. නමුත් 2023- 24දී ඩෙංගු තුන්වන කාණ්ඩය වැඩිවශයෙන් දක්නට ලැබුණත් ඩෙංගු දෙවන කාණ්ඩයේ කොස්මපොලිටන් කියන ප්‍රභේදයත් සියයයට විස්සකට පමණ පැවැතුණා. 2025වර්ෂයේදී චිකන්ගුන්‍යා රෝගය විශාල වශයෙන් පැතිර ගියා. ඒත් එක්කම එම වසර අවසානය වන විට ඩෙංගු තුන්වන කාණ්ඩය අඩුවෙලා දෙවන කාණ්ඩයේ කොස්මපොලිටන් කියන ප්‍රභේදය වැඩිවශයෙන් පැතිර යාමට පටන් ගත්තා. එදා මෙදා කාලය තුළ මෙම ප්‍රභේදය විවිධ අනුවර්තනයන්ට ලක්වීම රෝගය මෙතරම් පැතිර යාමට එක් හේතුවක් වෙන්න පුළුවන් කොහොම නමුත් මෙම ප්‍රභේදය ලංකාව තුළ දිගටම පැවැතුණා. ඩෙංගු පමණක් නොවෙයි චිකන්ගුන්‍යා රෝගයත් මේ වන විට වේගයෙන් පැතිර යනවා. ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග දෙකම බෝකරන්නේ ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් කියන මදුරු විශේෂ දෙක මගින්. මෙම වෛරස් දෙක ව්‍යාප්ත වීමට ලොකු තරගයක් තියෙනවා . නමුත් ඊඩිස් මදුරුවාට එක්වරකදී ව්‍යාප්ත කළ හැක්කේ එක් වෛරසයක් පමණයි. ව්‍යාප්ත වීමට වෛරස් දෙක අතර පවතින තරගයත් ඩෙංගු රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වෙන්න තවත් හේතුවක් වෙන්න පුළුවන්.
එපමණක් නොවෙයි ඩෙංගු තුන්වන කාණ්ඩයේ වෛරසය අභිබවා දෙවන කාණ්ඩය පැතිර යාමට පටන් ගෙන තිබීමත් එක්තරා ආකාරයක තරගකාරීත්වයක්.
අනෙක පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවල දැඩි උණුසුමක් පැවැතුණානේ. උෂ්ණත්වය වැඩිවීම මදුරු කීටයන්ගේ ජිවන චක්‍රය ඉතා කෙටිකාලයකින් සම්පූර්ණ වීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. උෂ්ණාධික කාලයක් තුළදී එම දින ගණන අඩුවෙනවා. පසුගිය කාලයේදී රටතුළ අධික උෂ්ණත්වයක් පැවැතීමත් රෝගය සීඝ්‍රලෙස පැතිරීමට එක හේතුවක්. අධික උෂ්ණත්වයක් පවතින කාලය තුළදී මදුරුවාගේ ඇගේ පවතින වෛරස් ප්‍රමාණයත් වැඩිවෙනවා. මෙයත් රෝගය සීග්‍රයෙන් පැතිරීමට තවත් එක් හේතුවක්. මැයි මාසයේ අවසාන සතියේ අග කාලයේ කොළඹ, ගම්පහ ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවුණා. එම කාලගුණික තත්ත්වය හේතුවෙනුත් එම ප්‍රදේශවල මදුරු ඝනත්වය වැඩි වුණා.
2023 – 24 වර්ෂවල ලංකාවේ තිබුණේ ඩෙංගු තුන්වන කාණ්ඩයේ වෛරසයක් නොවෙයිද?
2023- 24 වර්ෂවලදී ඩෙංගු තුන්වන කාණ්ඩයේ වෛරසය පැතිර ගියත් 2025 වර්ෂය වන විට ඩෙංගු තුන්වන කාණ්ඩයේ වෛරසය අඩුවෙලා 2025 අවුරුද්දේ දෙසැම්බර් මාසය සහ 2026 අවුරුද්දේ ජනවාරි මාසය වන විට ඩෙංගු දෙවන කාණ්ඩයේ වෛරසය මතුවීමට පටන් ගත් බව අපට පර්යේෂණ තුළින් හඳුනාගැනීමට හැකිවුණා.
ඔබ ඔය කියන විදිහට ඩෙංගු දෙවන කාණ්ඩයේ වෛරසය මතුවීමට පටන් ගත් බව මේ වසර මුලදීම දැන ගත්තානම්, එය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමට ඇති ඉඩකඩ ඇහිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා අදාල අංශවලට දැනුම් නොදුන්නේ ඇයි?
දශක දෙක තුනක කාලයක සිට ලංකාවේ මෙවැනි වසංගත තත්ත්ව නිර්මාණය වෙනවා. මැයි, ජූනි, ජූලි කාලවල එනම් නිරිත දිග මෝසම් වර්ෂා කාලය තුළදීත් නොවැම්බර් , දෙසැම්බර් සහ ජනවාරි මාසවල එනම්, ඊසානදිග මෝසම් වර්ෂා කාලය තුළත් ඩෙංගු රෝගය පැතිර යාමක් දක්නට ලැබෙනවා. මෙම කාලය තුළ ඩෙංගු වසංගත තත්ත්වයන් නිර්මාණය වෙන නිසා අපි සියලු දෙනාම ඒ සඳහා පෙර සූදානම් විය යුතුයි . නමුත් මෙවර ඒ පෙර සූදානමේ යම් අඩුවක් තිබෙන බව මම දකිනවා. තම තමන්ගේ ගෙවත්ත පිරිසුදු කරගැනීමට සියලු දෙනාම අනිවාර්යෙන් කටයුතු කළ යුතුව තියෙනවා.
මේ වන විට දිවයින පුරා විවිධාකාරයේ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වන බව අපි දන්නවා. ඒත් ඩෙංගු රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවීමක් වෙලා නැහැනේ ?
මදුරු කීටයන් මර්දනය කළයුතු වන්නේ රෝගය පැතිරීමට පෙරයි. මදුරු මර්දන කටයුතු දැන් කළොත් එහි ප්‍රතිඵල බලාපොරොත්තු විය හැක්කේ තවත් මාසයකින් පමණ පසුවයි. මීට මාසයකට දෙකකට පෙර පරිසරය පිරිසුදු කිරීම්, මදුරුවන් බෝවන ස්ථානය විනාශ කිරීම් වැනි ක්‍රියාමාර්ග ගත්තානම් දැන් ඇතිවෙලා තියෙන වසංගත තත්ත්වය යම්තාක් දුරකට හෝ පාලනය කර ගන්න තිබුණා. ඩෙංගු වසංගත තත්ත්වය මෝසම් වර්ෂාවත් සමඟ ඉදිරියටත් නිර්මාණය වීමට ඉඩ තිබෙන නිසා රෝගය වසංගතය දක්වා ව්‍යාප්ත වීම පාලනය කරගැනීමට පෙර සූදානමක් අප කවුරු තුළත් තිබිය යුතුයි. අපි දැන් කරන පරිසර පිරිසුදු කිරීමේ හා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ කටයුතුවල ප්‍රතිඵල දැකගන්න පුළුවන් වෙන්නේ ඉදිරි මාසයකදීයි. ඩෙංගු රෝගය ව්‍යාප්ත වන කාල සීමා ගැන අපිට හොඳ අවබෝධයක් තිබෙන නිසා මෝසම් වර්ෂාවන් ඇතිවීමට මාසයකට පෙර සිටම මදුරු මර්දන කටයුතු ආරම්භ කිරීමෙන් සාර්ථක ළඟා කරගැනීමට අපට හැකියාව ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා.
මේ වන විට රට තුළ ඩෙංගු රෝගීන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ වගේම ඩෙංගු අධි වසංගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් කියැවෙනවා. මෙවැනි තත්ත්වයක් මත ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා එන්නතක් ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙනුත් පහුගිය දවස්වල යම් යම් සාකච්ඡා ඇතිවෙලා තිබුණා. ඒ සම්බන්ධයෙනුත් ඔබෙන් අදහසක් දැන ගන්න කැමැතියි?
මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඩෙංගු එන්නත් තුනක් අනුමත කරලා තියෙනවා. එම එන්නත් මේ වන විට විවිධ රටවල භාවිත කරනවා. මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනය (US-NIH ආයතනය )
මගින් නිපදවා ඇති ඩෙංගු එන්නතක් බ්‍රසීලය සහ තවත් රටවල්වල් කිහිපයක භාවිත කරනවා. කියුඩෙංගා කියන අනෙක් එන්නත මේ වන විට කියුබාවේ , බ්‍රසීලයේ සහ ලතින් ඇමරිකානු රටවල්වල වගේම ආසියානු රටවල් වන ඉන්දුනීසියාව, පිළිපීනය, තායිලන්තය,වියට්නාමය සහ මැලේසියාව වැනි රටවලත් භාවිතයට ගැනෙනවා.
ඔය කියන එන්නත ලබාදීමට පෙර හා පසුව ඒ සම්බන්ධයෙන් කිසියම් පරීක්ෂණයක් කරනවාද?
කියුඩෙංගා එන්නතේ සායනික පරීක්ෂණ කරලා අවසන්. නමුත් ඒ ඒ රටවල්වල පුද්ගලයින්ට මෙම එන්නත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද යන්න සම්බන්ධයෙන් ඒ එන්නත ලබා දුන් පසුව එම රටවල්වල විශේෂඥයින් නිරීක්ෂණය කරමින් හා පරීක්ෂා කරමින් ඉන්නවා
මෙම එන්නත භාවිතයට ගැනෙන තවත් රටවල් තියෙනවාද?
යුරෝපා රටවල් හා ඕස්ට්‍රේලියාව, ජපානය වැනි රටවල් කියුඩෙංගා එන්නත සංචාරක එන්නතක් ලෙස භාවිතයට ගැනෙනවා.
යුරෝපා, ආසියානු සහ ලතින් ඇමරිකානු රටවල් ගණනාවක් කියුඩෙංගා එන්නත භාවිත කරනවා නම් අපේ රටටත් ඒ එන්නත ගෙන්වන්න පුළුවන්කම තියෙනවා නේද?
කියුඩෙංගා එන්නත අපේ රටට ගේනවා නම් ඒ සම්බන්ධයෙන් හිතන්න බොහෝ දේවල් තියෙනවා. දැන් කඩිනමින් ඒ එන්නත ලංකාවට ගෙනාවත් දැනට රටතුළ පවතින ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීමට එය හේතුවක් වෙන්නේ නැහැ. මේ එන්නත මාත්‍රා දෙකකින් ලබා දිය යුත්තක්. එක් මාත්‍රාවක් දීලා තවත් මාස තුනකින් තමයි දෙවන මාත්‍රාව ලබා දිය යුතුවන්නේ. මාත්‍රා දෙකම ලබා ගත් පසුවයි පුද්ගලයෙකුට ප්‍රතිශක්තිකරණය ඇති වෙන්නේ. එහි ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කර ඉන් පසුවයි දෙවන මාත්‍රාව දිය යුත්තේ. ඒ නිසා මේ වසංගත තත්තවය පාලනය කරන්න එම එන්නත දැන් ගෙන්නුවා කියලා ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ.
කොවිඩි රෝගය ව්‍යාප්ත වෙමින් පැවැතුණු කාලවකවානුවේ එම රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රෝගය ව්‍යාප්ත වන විටදීම අදාල එන්නත් ලබා දීමක් කළා. ඩෙංගු සඳහා එසේ කිරීමේ හැකියාවක් නැද්ද?
කොවිඩ් වෛරස් රෝගය කියන්නේ ගෝලීය වශයෙන් අඛණ්ඩව ව්‍යාප්තව ගිය රෝගයක්. නමුත් ඩෙංගු කියන්නේ එක්තරා කාලයකදී පමණක් ව්‍යාප්ත වන රෝගයක්. අනෙක කොවිඩ්වල රෝගය පැතිරෙන්නේ එක් වෛරස් කාණ්ඩයකින්. ඩෙංගු කියන්නේ වෛරස් කාණ්ඩ හතරකින් ව්‍යාප්ත වන රෝගයක්. කොවිඩ් රෝගය පැතිරෙන්න හේතු වුණේ එක් වෛරසයක්. එම වෛරසය තුළයි ප්‍රභේද තිබුණේ. නමුත් ඩෙංගු වෛරස් හතරක් පවතිනවා. ඒ වෛරස් හතර තුළ ප්‍රභේද ගණනාවක්ම තිබෙනවා.
ඩෙංගු රෝගය වැළදුණ පිරිසට වගේම ඩෙංගු රෝගය වැළඳී නැති පිරිසටත් ඔය කියන එන්නත ලබා දීමක් කළ යුතුද?
ඩෙංගු එන්නතක් ලබා දෙනවිට ඩෙංගු වැළදුණ නොවැළදුන සියලුම දෙනාටම එය දිය යුතුයි.ඩෙංගු වෛරසය ශරීර ගත වී තිබෙනවාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. එන්නත ලබා දෙන විට රෝගය වැළඳුනාද නැද්ද කියලා සොයා බලමින් එය ලබා දෙන්න හැකියාවක් නැහැ. හැමෝටම එය ලබා දිය යුතුවෙනවා.
ඩෙංගු රෝගය වැළඳුනු පුද්ගලයකුට එන්නත ලබාදීම සාර්ථකයි කියලා කිව්වේ ඇයි?
රෝගය හැදුණත් එම පුද්ගලයාට රෝහල් ගතවීමට තිබෙන ඉඩකඩ සියයට අසූපහකින් පමණ වළක්වනවා. රෝගය වැළදීම නිසා ඇතිවන සංකූලතා මගහරවා ගැනීමේ හැකියාව රෝගය නොවැළදුණ පුද්ගලයින්ගේ හැකියාවට වඩා වැඩියි.
එන්නත කඩිනමින් ලංකාවට ගෙනැල්ලා රෝගීන්ට ලබාදීමට අවශ්‍ය කටයුතු කළත් දැනට තිබෙන වසංගතය වළක්වා ගන්න හැකියාවක් නැහැ කියලා ඔබ කියනවා. එහෙමනම් දැන් මේ ඇති වී තිබෙන ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීමට මොනවද කළ හැකිව තියෙන්නේ?
දැනට තිබෙන එකම සාර්ථක විකල්පය වන්නේ ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කිරීම පමණයි. මේ වන විටත් බස්නාහිර පළාත තුළ කීට ඝණත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ ඉදිරි සති දෙක තුන තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යාමයි. ඒ නිසා අපි සියලු දෙනාම එක්ව තම තමන්ගේ පරිශ්‍රයන් පිරිසිදු කර ගැනීමයි මේ වෙලාවේ කරන්න තියෙන හොඳම හා එකම විසඳුම.

