brand logo
logo
පොලිසිය ගත්තු පිහියට ගේම ඉල්ලූ සුදු මැණිකේ

පොලිසිය ගත්තු පිහියට ගේම ඉල්ලූ සුදු මැණිකේ

06 September 2026 | රෂ්නිකා ලියනගේ


ශ්‍රී දළදා පෙරහර මංගල්‍යයේ වැඩිම අවධානය හිමිවන්නේ කරඬුව වැඩම කරවීමේ භාග්‍යය ලබන හස්තියාය. එයත් විශේෂයෙන්ම අවසන් රන්දෝලියේදීයි. මෙවර ද වසර කිහිපයක සිට පවතින සුපුරුදු ‘‘ඉන්දි රාජා’’ - ‘‘වාසනා’’ මත ගැටුම කරළියට ආවේ ය. එහෙත් පෙරහර මංගල්‍යය අවසන් වෙද්දීම ජනප්‍රිය හීලෑ අලියා කිරුළ හිමිවූයේ වෙන කෙනෙකුටයි. ‘‘ඉන්දි’’ සහ ‘‘වාසනා’’ තබා වෙනත් හස්තියෙකුටවත් නැති තරමේ ජන ආකර්ෂණයක් ලබන්නට අලි කෙල්ලක් සමත් වූවාය. ඒ, ගනේතැන්න ‘‘සුදු මැණිකේ’’ යි. මේ වෙද්දී ඈ ගැන නොදන්නා කෙනෙකු නැති තරම් ය.


‘‘සුදු මැණිකේ’’ කරළියට ආවේ තමන්ගේ හස්තිපාලකගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඈ පෙනී සිටි නිසාය. මේ කතන්දරය වූයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහර දාය. එදින සවස 6 ට පමණ ‘‘සුදු මැණිකේ’ගේ හස්ති පාලක පැතුම් සහ සහයක රුමේෂ් මාලිගාවෙන් පිටතට ගොස් තේ පානය කර නැවත පැමිණයහ. එය, ඒ දින කිහිපයේ ම ඔවුන්ගේ සුපුරුදු දින චර්යාවේ අංගයකි. සාමාන්‍යයෙන් සිය රැකියා කටයුතු සමග බැඳුණු පිහියක් හස්තිපාලකයකු සතුය. එය සාම්ප්‍රදායිකව හස්තිපාලකවරුන් උදෙසාම තනවන කැටයම් කරන ලද එකකි. එහෙත් පොලිසියේ කාර්යභාරය අනුව, ආයුද රැගෙන යාමට පුද්ගලයන්ට ඉඩ දිය නොහැක. ගැටලුව මතුවූයේ එනිසාය. තේ පානය කර එමින් සිටි හස්තිපාලක පොලිස් පරීක්ෂාවට ලක් වූයේ ය. එහිදී පැතුම්ගේ ඉනේ තිබූ පිහිය පොලිසියට නිරීක්ෂණය විය. ඒ අනුව හස්තිපාලක සතු පිහිය පොලිසිය තමන් භාරයට ගෙන තිබේ.


“අපි අලි බලාගන්න අය. ඒ නිසයි පිහිය ළඟ තියාගන්නෙ. අපට දැන් පෙරහරට යන්නත් පරක්කු වෙනවා.” යැයි ඔවුන් පැවසුව ද පිහිය නැවත භාරදීම පොලිස් මුරපොළේ නිලධාරීන් ප්‍රතික්ෂේප කර ඇත. එබැවින් පෙරහර වෙනුවෙන් තමන්ට නිකුත් කර ඇති හැඳුනුම්පත් ද ඔවුන් ඉදිරිපත් කර තිබේ. පොලිසිය පවසා ඇති බවට පැවසෙන්නේ වී ඇත්තේ අලියා නොමැතිව පිහිය නැවත දිය නොහැකි බවයි. ඒ වෙද්දී පෙරහර රාජකාරි සඳහා වේලාව ද ළංවෙමින් තිබිණ. අවසානයේ පැතුම් සහ රුමේෂ් එතැනින් පිටත්ව ගියහ. ටික වේලාවකින් ඔවුන් පැමිණියේ සද්දන්ත ‘‘සුදු මැණිකේ’’ ද සමගිනි. ඇගේ පෙනී සිටීමෙන් පසු පිහිය නැවත හස්තිපාලකගේ සන්තකයට පත්විය. වේගයෙන් පැමිණි සුදු මැණිකේ සිය හස්තිපාලක සමග ආ වේගයටම යළි ගියේ ය. මේ කතාව සමාජ මාධ්‍ය ඔස්සේ සංස්කරණය වූයේ විදුලි වේගයෙනි. ඒ තියා ඒවාට කඩිනමින් හඬ කැවීම් පවා කෙරුණි අන්තිමේදී ඒ අනුව ‘‘සුදු මැණිකේ’’ ට හිමිවූයේ ඉහළ ප්‍රතිචාරයි. පිහියක් නිසා ‘‘සුදු මැණිකේගේ’’ නම අස්සක් මුල්ලක් නෑර පැතිර ගියේ ය. දැන් ‘‘සුදු මැණිකේ’’ බොහෝ ජනප්‍රිය ය.


ඇය සිහිපත් කරන්නේ පාසල් පන්ති කාමරවල කොසු, ඉදල් සටන් ය. වර්තමානයේ දී කෙසේ වුව ද ඒ කාලයේ දී පන්ති කාමරයක ඇති කොස්ස, ඉදල පාසලේ අනිත් පන්තිවලින් බේරාගැනීම බෙහෙවින් අසීරු වේ. අද තියෙන කොස්ස හෙට නැත. ඒ වෙලාවට කොස්ස සොයා පාසල පුරා කරක් ගැසිය යුතුය. කොස්ස සොයාගත් පසු සන්තකය නැවත ගැනීම හිතන තරම් ලේසි නැත. ඒ වේලාවට ඇති ඉක්මන්ම සහ පභසු ම ක්‍රමය තරමක් චණ්ඩි සගයකු සමග එහි යාමයි. එවිට කොස්ස පහසුවෙන් යළි ලැබේ. ‘‘සුදු මැණිකේ’’ ද ඒ ආකාරයෙන් ම ගිය ගමන් පැතුම් ගේ පිහිය ගත්තේ ය.


පොලිසිය එක්කත් කතාබහ කර ගැටලු විසඳාගැනීමට සමත් වූ ‘‘සුදු මැණිකේ’’ තවමත් පොඩි කෙල්ලකි. ඇයට තවමත් වයස අවුරුදු 18 ක් පමණි. ‘‘සුදු මැණිකේ’’ අයිති වන්නේ ගනේතැන්න මිරිහැල්ල පරම්පරාවටයි. පාරම්පරික හස්ති හිමිකරුවකු වන බුද්ධික මිරිහැල්ල ‘‘සුදු මැණිකේ’’ ගේ හිමිකරුය. ඔහුගේ හදිසි අභාවයෙන් පසු දැන් අලි ඇතුන්ගේ වගකීම දරන්නේ ඔහුගේ බිරිය දර්ශනී මිරිහැල්ල යි. ඇගේ වැඩිමහල් දියණිය මීෂා මිරිහැල්ල ඊට විශාල සහයක් දක්වන්නීය. ඇගේ ළාබාල සොයුරියන් වන කවීෂා සහ නෙලීෂා ද ඊට හැකි ලෙස දායක වෙති.


‘‘සුදු මැණිකේ’’ සිටින්නේ මිරිහැල්ල පවුලේ තවත් දියණියක ලෙසිනි. බුද්ධික මිරිහැල්ල ජීවත්ව සිටියදී ඈ ඔහු සමග බෝහෝ සමීපය. පවුලේ අනෙක් අය සමග ද එසේමය. එක් අතකින් බුද්ධික මිරිහැල්ල සහ දර්ශනී මිරිහැල්ලට දියණියන් සිව්දෙනෙක සිටිනවා හා සමානය. සුදු මැණිකේ තේ බීමට ද මනාප බව ආරංචිය. ඒ විතරක් ද? බත් සමග පොල් සම්බෝල කන්නට ද ඈ රුසියකු බව කියන්නේ මීෂා මිරිහැල්ලයි. ඇයත්, ‘‘සුදු මැණිකේ’’ත් අතර වයස් පරතරය අවුරුදු දෙකක් පමණි. ඔවුන් කුඩා කාලයේ සිට වැඩුණේ ද එකටම ය.


“අපි ඉස්කෝල යද්දි අම්මා උදේට හැමෝටම කෑම කවනවා. ඉතින් මෙයත් එතකොට ඇවිත් එතනින් ඉන්නවා. අම්මා එයාටත් බත් කවන්න ඕනෙ. හොඬේ උෂ්සගෙන අපි එක්කම බලාගෙන ඉන්නවා එයාගෙ කටටත් බත් ඩිංගක් දෙනකං. ඉතින් අපිට කවන ගමන්ම අම්මා එයාටත් බත් දෙනවා. මෙයා හරිම ආසයි බතුයි පොල් සම්බෝලයි කන්න. පරිප්පු, ගොටු කොළ එහෙම කන්නත් එයා හරිම ආසයි. අපේ පොඩි නංගී තවම ඉස්කෝලෙ යනවා. එතකොටත් එයා ට කවද්දී ‘‘සුදු මැණිකේ’’ට කවන්නම ඕනෙ. අනිත් වෙලාවක වුණත් අපි කෑම කද්දි එයා ළඟ හිටියොත් එයාට කවනවා. බිස්කට් වගේ කඩචෝරු කන්නත් ‘‘සුදු මැණිකේ’’ හරි ආසයි. අපි කනවනං පොඩ්ඩක් හරි එයාට දීලා තමයි කන්න ඕනෙ. ඒත් ඒවා වැඩිය හොඳ නැති නිසා එයාට පේන්න අපි කන්නෙ නෑ. පේන තැනක ඉද්දි මොනවා හරි කෑවොත් එයාට ටිකක් විතර දෙනවා.”


පෙනුමට දඟකාර යැයි කෙනෙකුට සිතුණාට ‘‘සුදු මැණිකේ’’ අහිංසක මෙන්ම පාඩුවේ සිටින කෙල්ලකි. පෙරහර ගමන්වලදී ඇගෙන් කිසි කරදරයක් නැත. පෙරහර කාරියට ඈ දැන් හොඳින් හැඩ ගැසී ඇත. හස්තිපාලක සමග සිටියදී පිටස්තරයකුට වුව ඈ සමග යහළුකම් පවත්වන්නට ඉඩ ලැබේ. කොයිතරම් සෙනග ඇස ගැටුණත් ‘‘සුදු මැණිකේ’’ මිරිහැල්ල පවුලේ අයට බොහෝ ළැදි ය. ඔවුන්ගේ අවධානය ඈ නිරන්තරයෙන්ම අපේක්ෂා කරන බව මීෂා මිරිහැල්ල කියයි.


“ගෙදර ඉන්න වෙලාවට අපි එයත් එක්ක කතා නොකළොත් එහෙම එයාට දුකයි. ඒ වෙලාවට පොල් අත්තක් හරි වෙන මොනවා හරි දෙයක් අරගෙන ගේ පැත්තට විසි කරනවා. මං කොළඹ කැම්පස් එකක ඉගෙන ගන්නවා. ගෙදර ඉඳලා තමයි යන්නෙ එන්නෙ. දවසක් මෙහෙම දෙයක් වුණා. කැම්පස් ඉවර වෙලා ගෙදර යද්දි මට ගොඩක් මහන්සියි. ඉතින් මං කෙළින්ම ගේ ඇතුළට ගියා. ‘‘සුදු මැණිකේ’’ එක්ක කතා කළේ නෑ. මං මහන්සියට එහෙම්මම නිදා ගත්තා. එයා එක්ක වචනයක්වත් කතා කරන්න වුණේ නෑ. හයහමාරට විතර ජනේලට හයියෙන් පාරක් වැදුණා. වීදුරු කුඩුවෙලා වැටුණා. ඊට පස්සෙ ජනෙලේ ඇරලා බලද්දී මෙයා කන් දෙකත් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා. තරහා ගිය පෙනුමක් තිබුණෙ. ඊට පස්සෙ මං එයාගෙ ළඟට ගිහින් ටිකක් වෙලා කතා කර කර හිටියා. ඔන්න එතකොට දඟල දඟල හිනාවෙවී වගේ සතුටින් හිටියා. අපි හැමෝම එක්ක එයාලා හරි එකතුයි. අපිටත් එයාලා දිහා බලාගෙන ඉන්න එක තමා ලොකුම වැඩේ. එයාලාට වඩා ලොකු දෙයක් අපිට නෑ.”


‘‘සුදු මැණිකේ’’ සමග මිරිහැල්ල පවුලේ ආදරය බෙදාගන්නා අනෙක් සද්දන්තයා ගනේතැන්න රාමා ය. ඔහු මෙරට සිටින උසම අලියා ලෙස සැලකේ. ඇතැමුන් ඔහු හඳුන්වන්නේ ගනේතැන්න යෝධයා ලෙසිනි. රාමාගේ වයස අවුරුදු 58 කි. ඔහුගේ විශේෂත්වයක් වන්නේ පෙරහර සඳහා සහභාගී වන්නට වාහනවලින් නොයා පාගමනින් ම යාමයි. ඔහු මෙවර ශ්‍රී දළදා පෙරහැරට සම්බන්ධ වූයේ වසර තිස්පහකට පමණ පසුවයි. රාමා, සුදු මැණිකේ තරමට සුරතල් නොවුණ ද කිසිවකුටත් කරදරයක් නැතිව පාඩුවේ සිටින්නෙකි. රාමා සහ සුදු මැණිකේ ද බොහෝ මිතුරුය. සැලකිය යුතු වයස් පරතරයක් තිබුණාට ඔවුන් දෙදෙනා අතර කිසිදු ගැටුමක් නොමැති බව මීෂා මිරිහැල්ල කියයි. ඔවුන් දෙදෙනා අතර සේම ඔවුන් සහ මිරිහැල්ල පවුල අතරත් ඇත්තේ එකිනෙකා වෙන්කළ නොහැකි මට්ටමේ බැඳීමකි. තමන් බලාගන්නා හස්තිපාලකවරුන් කෙරෙහි ද රාමා සහ ‘‘සුදු මැණිකේ’’ ඉතා ලෙන්ගතුය. පරම්පරා හතර පහක් තිස්සේ වර්ධනය වී ඇති ඒ බැඳීම ඔස්සේ ඔවුනොවුන් එකිනෙකා වෙනුවෙන් පෙනී සිටීම ගැන පුදුමයක් ද නොවේ.


 

More News..