brand logo
logo
බල්ලා වෙනුවෙන් ලක්ෂ 15 ක් වියදම් කළ පවුලක්

බල්ලා වෙනුවෙන් ලක්ෂ 15 ක් වියදම් කළ පවුලක්

26 September 2026 | බියංකා නානායක්කාර ඡායාරූපය - ඉෂාන් සංජීව

‘‘කොකෝ’’ කියන්නේ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බලු සුරතලෙකි. ‘කොකෝ’ සුරතලකු වී නුගේගොඩ වනිගසිංහ නිවසට එන්නේ අදින් අවුරුදු හතරකට පෙර ජුනි මාසයේ දවසකය. ‘කොකෝ’ගේ ආදරණීය නිවහන වූ මේ නිවසේ හිමිකරුවන් වූයේ වනිගසිංහ යුවළත්, යොවුන් දියණියන් දෙදෙනාත් පමණය. ඒ නිසා ‘කොකෝ’ට ලේසියෙන්ම වනිගසිංහ යුවළගේ ‘පුතා’ වීමේ අයිතිය ලැබුණේය.


ගෙදර සාමාජිකයන් සිව්දෙනාගේම ආදරය නොඅඩුව දිනාගත් ‘කොකෝ’ වනිගසිංහ නිවස තුළදී කූඩුකර හෝ දම්වැල්වලින් බැඳ නොසිටියේය. ඒ නිවසේ ඕනෑ තැනකට යන්නට, එන්නට ඉන්නට, දුවන්න පනින්න අවසර තිබුණේය. පාරේ ඇවිදින්නට යන විට නම් දම්වැලක් දමාගෙන ගියේ ‘කොකෝ’ගේ ආරක්ෂාවටමය.

බොහෝ නිරෝගීව පුෂ්ටිමත්ව වැඩෙමින් සිටි ‘කොකෝ’ තුළ නිවැසියන්ට වෙනසක් පෙනෙන්ට ගත්තේ අවුරුද්දක තරම් කාලයේය. කොකෝගේ ඇඟේ ප්‍රමාණයට වඩා පිටුපස කකුල් දෙක වැඩීමේ අඩුවක් පෙන්නුම් කිරීමය. එසේ වූවා කියා ‘කොකෝ’ගේ ක්‍රියාශීලී බවේ වෙනසක් ඔවුන් දුටුවේ නැත. නමුත් ඇතැම් විට ඒ කකුල හරිහැටි පොළොවේ නොතියවෙන බවට පිටුපස සිට බැලූ කල්හි පෙනෙන්නට විය. ඒ නිසා වනිගසිංහ නිවසේ අය විසින් ‘කොකෝ’ පශු වෛද්‍යවරයාට පෙන්වීය.


‘‘මේක ගොඩක් ජර්මන් ෂෙපර්ඩ්ලට හැදෙන ප්‍රශ්නයක්. උකුල් හන්දිවල ඇට එකට සම්බන්ධ වෙන්නේ නැති ආතරයිටිස් රෝග ප්‍රශ්නයක්. මේ ලෙඩේට බෙහෙත් නෑ. සැත්කමකින් තමයි ඔය තත්ත්වය සුවපත් කරන්න පුළුවන්.’’

වෛද්‍ය පැහැදිලි කිරීම වනිගසිංහ නිවැසියන්ට හොඳින් පැහැදිලි වුණත් ඔවුන් ‘කොකෝ’ව තව වෛද්‍යවරු කීප දෙනකුටමත් පෙන්වූයේ ඒ රෝගය ගැන ඊට වඩා වෙනස් දෙයක් දැන ගන්නට කියාය. වෙනත් ප්‍රතිකාර ක්‍රමයක් තිබේවි කියාය. ඒත් ඒ පශු වෛද්‍යවරුන්ගේ උත්තරය වූයේ ඒකමය.

වනිගසිංහ පවුල ‘කොකෝ’ගේ ලෙඩේ හිතේ තියාගෙන තවත් වසරක් දෙකක් වැඩෙන්නට ඉඩ දුන්නේ රෝගී තත්ත්වය දැනුණේ නිවැසියන්ට මිස ‘කොකෝ’ට නොවන නිසාය. දෙකකුල් තරමක් කෙට්ටු වුවත් සාමාන්‍ය ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙකු ප්‍රමාණයෙන් ‘කොකෝ’ වසරින් වසර වැඩී තුන් අවුරුදු උපන් දිනයක් සැමරුවේය.


ඒ කොකෝ ව්‍යායාම සඳහා ඇවිදුවන්නට ගෙන ගිය එක් උදෑසනකි. වනිගසිංහ සමග හරිහරියට ඇවිද යමින් සිටි ‘කොකෝ’ එකවරම දෙපා පණ නැතිව ගොස් මහමග ඉඳ ගත්තේය. සුළු මොහොතකින් එය යථා තත්ත්වයට පත් වුණත් ඒ සිදුවීමෙන් පසු​ ‘කොකෝ’ගේ පවුලේ අය බෙහෙවින් බිය වූහ. ඒ නම් රෝගී තත්ත්වයට පිළියමක් නොකළොත් ඉදිරියේදී සුරතලාට එක් තැන්වන්නට වෙතැයි සිතාය. එවර පශු වෛද්‍යවරයා ළඟට ගෙනගිය ‘කොකෝ’ගේ උකුල් පෙදෙසේ X රේ පරීක්ෂාවක් කළේය. මොහොතකට දෙපා පණ නැති වුණත් ඒ වන විටත් කොකෝ සිටියේ ක්‍රියාශීලී සතෙක් පරිද්දෙනි. Xරේ පරීක්ෂාවෙන් පසු පශු වෛද්‍යවරයා කොකෝගේ රෝගයේ අලුත්ම තත්ත්වය හිමිකරුවන්ට විස්තර කළේය.

‘‘එයාගේ උකුලේ අස්ථිවල ආතරයිටිස් තත්ත්වය උග්‍රවෙලා තියෙන්නේ ඒක වේදනාකාරියි. මේ රෝගී තත්ත්වයට එකම ප්‍රතිකාරය FHO කියන ඔපරේෂන් එක.’’

එවරද තවත් පශු වෛද්‍යවරුන් කීප දෙනකුටම කොකෝව පෙන්වා සිටියත් ඒ හැම වෛද්‍යවරයකුගේම උපදෙස වූයේ කොකෝට FHO සැත්කම කරන ලෙසය. මේ තත්ත්වය සමග වනිගසිංහ පවුල FHO ශල්‍යකර්මය ගැන තව තවත් තොරතුරු සොයා බැලූහ. ලංකාවේ සුරතල් බල්ලන්ට මේ සැත්කම කළ අය ගැනද සොයා බලා තොරතුරු දැන ගත්හ. ඒ අතරේ පසුගිය වසරේ අග සිට ‘කොකො’ගේ ව්‍යායාම සහ ඇවිදීම් වෙනුවෙන් ‘සුනඛයන් පුහුණු කරවන්නෙක්’ සම්බන්ධ කරගන්නට වනිගසිංහ පවුල තීරණය කළහ. ඒ ඇති වී ඇති රෝගී තත්ත්වය නිසා නිවැරදිව අඩිය තැබීම පවා විය යුතු නිසාය. ඒ සඳහා ඔවුන්ට සුනඛ පුහුණු කරවන්නකු වූ චන්දන දිසානායකගේ සේවය ගන්නට හැකි වුණේය. චන්දන සතියකට වරක් පැමිණ නිවැරදිව ‘කොකෝ’ ඇවිදුවා ව්‍යායාම ටික කරන්නට පටන් ගත්තේය. ඒ අතරතුරේ ඔහු ‘කොකෝ’​ ගෙන ගොස් පෙන්වන්න කියා ඔහු දන්නා පශු වෛද්‍යවරයකුගේ විස්තරද වනිගසිංහ පවුලට දුන්නේය. ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බරයේම වනිගසිංහ පවුල විසින් චන්දන කී පශූ වෛද්‍ය අරුණ චන්ද්‍රසිරිගෙන් වේලාවක් ගෙන ‘කොකෝ’ ගෙන ගියේ සපුගස්කන්දේ පෙට් ප්ලස් රෝහලටය. පෙට් ප්ලස් රෝහලේදී කොකෝගේ රෝගී තත්ත්වය ගැන පරීෂාවක් වුණේය. එහිදී ද වැඩිදුරටත් X රේ පරීක්ෂාවක් වූ අතර පශු වෛද්‍ය අරුණ චන්ද්‍රසිරි කීවේද කොකෝ වෙනුවෙන් FHO සැත්කම කළ යුතුයි කියාය. වනිගසිංහ පවුල එවර තීරණයක් නිශ්චිතවම ගත්තේය. ඒ කොකෝට මේ සැත්කම කිරීමටය. ඒ සඳහා නිශ්චිත දිනයක් තීරණය කරන්නට ඔවුන්ටම වෛද්‍යවරයා විසින් කාලය දුන්නේය.


වනිගසිංහ පවුල ‘කොකෝ’ගේ සැත්කමට දිනයක් තීන්දු කරගන්නට පෙර ලංකාවේ FHO සැත්කම කළ බලු සුරතලෙක් බලන්නට ද ගොස් ඒ වැඩිහිටියන් හා කතාබහ කර හිතේ කිසියම් වූ බයක් සැකක් තිබුණා නම් ඒ තත්ත්වයද නැති කරගත්හ. අනතුරුව මාර්තු මාසයේ යළිත් කොකෝව අරුණ චන්ද්‍රසිරි වෛද්‍යවරයාට පෙන්වීමට හමුවක් දමාගත් වනිගසිංහ පවුල නිශ්චිත ලෙසම FHO සැත්කම කරන්නට එකඟ වී ඒ සඳහා දිනයක් ඉල්ලා සිටියහ.


මේ කාලය වන විට වෛද්‍ය අරුණ චන්ද්‍රසිරි සිටියේ THR සැත්කමේ පුහුණුව අවසන් කරය. THR සැත්කම යනුවෙන් හඳුන්වන්නේ ද බල්ලන්ගේ සම්පූර්ණ උකුල් සන්ධිය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ සැත්කමකි. මෙය දැනට ලෝකයේ බල්ලන්ගේ උකුල් ආශ්‍රිත රෝග සඳහා ඇති සාර්ථකම හා විශිෂ්ටම ප්‍රතිකාර ක්‍රමය ලෙස සලකනු ලබන සැත්කමකි. ඒ නිසා මේ සැත්කම ‘‘කොකෝට’’ කරන්නට වෛද්‍යවරයා යෝජනා කළේය.

ලංකාවේ මේ සැත්කම කිරීම සඳහා ලක්ෂ දහයක්, දොළහක් අතර මුදලක් වැයවන අතර අවශ්‍ය කෘත්‍රිම අස්ථි කොටස් ගෙන්වීම සිදුවන්නේ පිටරටිනි. කොකෝගේ මේ සැත්කම සඳහා එකී අවශ්‍ය සියල්ල ඉන්දියාවෙන් ගෙන්වන බවත්, සැත්කම සඳහා පශු වෛද්‍යවරයාට ලංකාවට එන කෘෘනාල් දේව්ෂර්මා සහ ජේ වෙන්කතේශ් ඉන්දීය පශු වෛද්‍යවරුන් දෙදෙනාගේ සහාය ලැබෙන බවත්, වනිගසිංහ පවුලට පැහැදිලි කෙරුණේය.

THR සැත්කම ගැන ඒ අයුරින් සවිස්තරාත්මකව දැන ගත්තාට පසු වනිගසිංහ පවුල කොකෝ වෙනුවෙන් ඒ සැත්කම කරන්නට කැමැත්ත දුන්නේය. ඒද දිනයක් වෙන්කර ගන්නට නැවතත් වෛද්‍යවරයා හමුවීමේ පොරොන්දුවෙන් පිටව ගිය ඔවුන්ට ‘කොකෝ’ වෙනුවෙන් නිවසේද යම් යම් වැඩකටයුතු ටිකක් කරන්නට ද තිබුණේය. ඒ ‘කොකෝ’ට සැත්කමක් කළ පසු රැක බලා ගන්නට, රඳවා තැබීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කරන්නටය. ජීවිතයේ කිසිදා කූඩුවක සිරවී නැති ‘කොකෝ’ සැත්කමින් පසු කූඩු කරන්නට ඔවුන් කිසිසේත් සිතුවේ නැත. ඊට ද ඒ සැත්කමින් පසු කූඩුකර සතාව රැකබලා ගන්නටද බැරිය. එය ඊට වඩා සංකීර්ණ ක්‍රියාවකි. ඒ නිසා ඔවුන් ඒ සුවිසල් නිවසේ ඇතුළතින් ඉදිරිපස කොටසෙන් තණ කොළ ඇල්ලූ සුන්දර කුඩා මිදුලද දොරක්ද හසුවන පරිද්දෙන් ලීවලින් අත්වැටක් සවිකර නිවසේ අනෙක් කොටසින් වෙන් කළේය. ඒ සැත්කමින් වෙනදා සේ ‘කොකෝ’ට නිවස පුරා දුවන්නටත්, පඩිපෙළ නැග උඩුමහලට දිවයන්නටත් හොඳ නැති නිසාය. ඒ සියල්ල ලස්සනට සකසා ‘කොකෝ’ට නිවස ඇතුලේ වෙනම කොටසක් වෙන් වුණ අතර එතැනට විදුලි පංකා දෙකක්, ඇඳක්, සෙටි පුටුවක් මෙන්ම කොකෝට බිම සුවපහසුව නිදන්නට ඇතිරිලි යෙදූ මෙට්ටයක්ද දමා තිබිණි. ඒ සියලු දේ සූදානම් කිරීමෙන් පසු ඔවුන් පශු වෛද්‍යවරයාගෙන් සැත්කමට දිනය ඉල්ලා සිටියහ. ඉන්දියාවෙන් සැත්කම හා අවශ්‍ය කෘත්‍රිම අස්ථි කොටස්ද, ගෙන ඉන්දීය වෛද්‍යවරුන් දෙදෙනා පැමිණෙන අගෝස්තු මාසේ 25 වැනිදා දිනය ‘කොකෝ’ට වෙන් වුණේය.

‘‘එදා පෙට් ප්ලස් රෝහලට ගෙන ආ කොකෝට සැත්කමට පෙර කළ යුතු පරීක්ෂාවන් වෙනුවෙන් පැය තුනහමාරක් පමණ ගත විය. ඒ X-රේ පරීක්ෂාවට සහ අස්ථිවල මිනුම් ගැනීම් වැනි කාර්යයන් සඳහාය. මෙය ලංකාවේ පළමුවැනි අත්දැකීම වන නිසාත්, රෝහලේ සමහර උපකරණ මේ සඳහා පාවිච්චි කරන්නේ මුල් වතාවටත් නිසාත් තරමක වේලාවක් ඒ සඳහා ගත වී තිබිණි.

මේ සැත්කම වරකට කරනු ලබන්නේ සතාගේ එක් පැත්තක උකුලකට පමණය. ඒ අනුව කොකොගේ වඩාත් දුර්වල තත්ත්වයේ තිබූ වම් පැත්තේ උකුල් ඇටය වෙනුවෙන් ටයිටේනියම්වලින් සාදන ලද උකුල් ඇටයක් බද්ධ කෙරුණි. මේ සැත්කම සඳහා පැය හතර හමාරක කාලයක් ගත විය.

එය බරපතළ තත්ත්වයේ සැත්කමක් වුවත්, පෙට් ප්ලස් රෝහලේ කොකෝ නවත්වන්නට පහසුකම් තිබුණත් වනිගසිංහ පවුලේ ඉල්ලීම වූයේ සුරතලාව ගෙදර ගෙන යෑමටය. ඒ එකම මොහොතක්වත් ‘කොකෝ’ මේ පවුලෙන් ඈත්ව සිට නැති නිසාය. THR සැත්කම කළාටත් වඩා අමාරු සැත්කමෙන් පසුව සතෙක් බලා ගැනීම කියා වනිගසිංහ පවුලට සිතුණේ ලැබුණු වෛද්‍ය උපදෙස් අනුවය.

‘‘එයාව තුන්මාසයක් යනකල් හොඳින් ඇහැ ගහගෙන හොඳින් රැකබලා ගන්න කිව්වා. විශේෂයෙන් මාස එකහමාරක් දෙකක් යනතුරු හොඳින් බද්ධ කිරීම සවි වනතරු කොකෝට වම්පැත්ත යට කරගෙන නිදා ගැනීම තහනම්. ඒ නිසා අපි එදා සැත්කම කළදා පටන් පැය විසිහතරම ‘කොකෝ’ ළඟ එක්කෙනෙක් අවදියෙන් එයා දිහා බලා ඉන්නවා. මොකද සවි වෙන්න කලින් ඒ පැත්ත යට වුණොත් ඒ බද්ධ කිරීමෙන් වැඩක් වෙන්​නේ නෑ කිව්වා. ඒ වගේම අපි කකුල් දෙකෙන් හිටගෙන ඇඟේ නගින්න තහනම්, පඩි නගින්න පඩි බහින්න තහනම්. මෙතැනින් ගර්ඩන් එකට පඩි කීපයක් බහින්න තිබ්බා. අපි ඒවා වහලා දැම්මේ කොකෝ ඒවා පාවිච්චි කරයි කියන බයට. ඔපරේෂන් එකෙන් දින කීපයක් ගතකොට එයාට ඇවිදින්න අවසර ලැබුණා. එදා ඉඳලා චන්දන හැමදාම ඇවිත් කොකෝව නිවැරදි විදිහට ඇවිද්දවන වැඩටික කරනවා.’’

මේ වන විට ‘කොකෝ’ට THR සැත්කම කර මාසයක් ඉක්ම ගොස්ය. නිරෝගී බල්ලෙක් තරමටම හොඳින් කොකෝ ඇවිදියි. ඒත් ඒ හැම මොහොතේම කාගේ හෝ නිරීක්ෂණය යටතේය. වනිගසිංහ පවුලේ අය කොකෝ බලා ගන්නේ පොඩි දරුවෙක් බලාගන්නා තරම් ආරක්ෂාවෙනි. කොකෝගේ මෙට්ටය මතම විටෙක ඉඳගන්නා මේ පවුලේ සාමාජිකයන්, කොකෝට වම් පැත්ත අමතක කරන්නට කොකෝ සමග කතා කරමින්ද සිටිති. මේ වන විට ඔවුහු කොකෝ දෙස පැය විසිහතරම බලා සිටින්නට මුදල් ගෙවා පිටස්තරයෙක්ගේ සේවයත් ගනිති.


‘‘ඉතුරු මාස දෙකත් එයාව මේ විදිහටම රැකබලා ගන්නවා. කෙනකුට මේක අපිට කරදරයක් කියලා පේනවත් ඇති. ඒත් මේක ඒ තරම් කරදරයක් නෙවෙයි. අපි සතෙක් හදනවා නම් අපෙන් ඉටු වෙන්න ඕන යුතුකම්, වගකීම් ඉටුකරන්න ඕන. ‘කොකෝ’ ජීවත් වුණ කාලේ පොඩියි. අවුරුදු හතරයි. ඒත් එයාට තව අවුරුදු හයක් විතර මේ ලෝකේ අපිත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කාලේ තව වැඩියි. අවුරුදු හයක් විතර එයා අපි එක්ක තව ඉඳීවි. ඉතින් ඒ ඉන්න කාලේ වේදනාවක්, දුකක් නැතිව එයාව සතුටින් නිරෝගීව තියන එක අපි කරන්න ඕන.’’


සුරතලයට සත්තු හැදුවත් එහෙම හිතන පවුල් අල්පය. සල්ලි බාගේ ඇති සමහර ලොකු පවුල් හයිබ්‍රිඩ් වර්ගයේ සතුන් හදා වයසට යද්දී ලෙඩදුක් හැදෙද්දී ගේට්ටුවෙන් පිටට දාන, ඒත් නැත්නම් ඈතකට ගෙන ගොස් දාන මිනිසුන් සිටින සමාජයේ වනිගසිංහ පවුල හදවතින් පොහොසත් මිනිස්සුය. මෙසේ කියන්නට තවත් හේතුවක් ඇත. ඒ සතා රැක බලා ගැනීමේ කැපවීමම නොවේ. මේ වන විට ‘කොකෝ’ගේ නිරෝගී බව වෙනුවෙන් ඔවුන් ලක්ෂ පහළොවකටත් වඩා වැයකර ඇති නිසාය.


 

More News..