''මහජන බැංකු ගනුදෙනුව අමෙරිකානු ඩොලර් තැන්පතුවක් හරහා'' - LOLC හෝල්ඩින්ග්ස් කියයි
15 October 2026
''මහජන බැංකු ගනුදෙනුව අමෙරිකානු ඩොලර් තැන්පතුවක් හරහා'' - LOLC හෝල්ඩින්ග්ස් කියයි
15 October 2026
LOLC සමූහය සහ මහජන බැංකුව අතර සිදු වූ ණය ගනුදෙනුව සම්බන්ධයෙන් අන්තර්ජාලය හා සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන අසත්ය සහ නොමඟ යවන සුළු තොරතුරු ප්රතික්ෂේප කරන බව LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී සමාගම පවසයි.
කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිල පැහැදිලි කිරීමක් සිදුකරමින් එම සමාගම සඳහන් කර ඇත්තේ, අදාළ දේශීය මුදල් ණය පහසුකම මහජන බැංකුවේම පවත්වාගෙන යන ඇමරිකානු ඩොලර් තැන්පතුවක් පදනම් කරගෙන ලබාගෙන ඇති බව එම ණය පහසුකම සඳහා බැංකුවට පූර්ණ ඇපකර පවතින බව ද සමාගම අවධාරණය කරයි.
තම ගෝලීය භාණ්ඩාගාර මෙහෙයුම්වල කොටසක් ලෙස මහජන බැංකුව ඇතුළු දේශීය හා ජාත්යන්තර බැංකු කිහිපයක ඇමරිකානු ඩොලර් තැන්පතු පවත්වාගෙන යන බවයි LOLC සමූහය පවසයි.
ශ්රී ලංකාවේ සිය සමූහ ව්යාපාර සඳහා දේශීය මුදලින් අරමුදල් ලබාගැනීමේදී මෙම ඩොලර් තැන්පතු ඇපකර ලෙස භාවිත කරන බව ද එම සමාගම සඳහන් කරයි.
අදාළ තැන්පතුවේ පැවැත්ම හෝ එය පවතින ස්ථානය පිළිබඳ අවිනිශ්චිතතාවක් පවතින බවටත්, මහජන බැංකුවට හඳුනා නොගත් විදේශීය වත්කමක් අත්පත් කර ගැනීමට සිදුවන බවටත්, මෙම ගනුදෙනුව මහජන තැන්පතු අවදානමේ හෙළන ඇප රහිත ණය නිරාවරණයක් බවටත් පළවන ප්රකාශවලට සත්ය පදනමක් නොමැති බව සමාගම පෙන්වා දෙයි.
මෙය සාමාන්ය භාණ්ඩාගාර ගනුදෙනුවක් බව පවසන LOLC සමූහය, මෙම ක්රමවේදය හරහා සිය ඇමරිකානු ඩොලර් වත්කම් සුරක්ෂිතව පවත්වාගෙන යන අතරම ශ්රී ලංකාව ඇතුළු රටවල් 27ක විහිදී ඇති ජාත්යන්තර මෙහෙයුම් සඳහා දේශීය මුදලින් අරමුදල් සපයා ගැනීමට හැකි වන බව ද සඳහන් කරයි.
බහුජාතික සමාගම් විසින් ලොව පුරා භාවිත කරනු ලබන භාණ්ඩාගාර කළමනාකරණ සහ විදේශ විනිමය අවදානම් කළමනාකරණ ක්රමවේදවල කොටසක් ලෙස මෙවැනි ගනුදෙනු සිදුකරන බව ද සමාගම පවසයි.
මෙම ගනුදෙනුව ප්රශ්නගත බැංකු පිළිවෙතක්, විදේශ විනිමය සමපේක්ෂන ගනුදෙනුවක් හෝ මහජන මුදල් අවභාවිතයක් ලෙස හුවා දැක්වීමට ගන්නා උත්සාහයන් සත්ය තොරතුරුවලින් තොර බවයි LOLC හෝල්ඩින්ග්ස් පෙන්වා දෙයි.
අසත්ය සහ නොමඟ යවන සුළු තොරතුරු ප්රකාශයට පත් කිරීම හා ප්රචාරය කිරීම සම්බන්ධයෙන් අදාළ නියාමන ආයතන සහ අනෙකුත් බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට කටයුතු කරමින් සිටින බව ද සමාගම සඳහන් කරයි.
එමෙන්ම, අදාළ තොරතුරු නිර්මාණය කළ, ප්රකාශයට පත් කළ හෝ දැනුවත්ව හා නොසැලකිලිමත් ලෙස ප්රචාරය කළ පුද්ගලයන්ට සහ සංවිධානවලට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීමේ අයිතිය ද තමන් සතු බව LOLC සමූහය අවධාරණය කරයි.
සිය මෙහෙයුම් කටයුතු විනිවිදභාවයෙන් හා වගකීම් සහගතව පවත්වාගෙන යමින්, සමූහයේ සහ සියලු පාර්ශ්වකරුවන්ගේ නීත්යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අවශ්ය සෑම පියවරක්ම ගන්නා බව ද එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

