brand logo
logo
වැරැදි දුම්රියකට නැග අතුරුදන් වූ 6 හැවිරිදි පුතා අවුරුදු 13කට පසු ගෙදර ඇවිත්

වැරැදි දුම්රියකට නැග අතුරුදන් වූ 6 හැවිරිදි පුතා අවුරුදු 13කට පසු ගෙදර ඇවිත්

02 September 2026 | පවිත්‍රා මධු හර්ෂණී

පියා සමග ගමන් කරමින් සිටියදී වැරැදි දුම්රියකට ගොඩවීම නිසා වසර 13කට පෙර අතුරුදන් වූ හය හැවිරිදි රාජා ගෝප් නමැති දරුවකු නැවත සිය පවුලේ සාමාජිකයන් සමග එක්වූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.


මෙම සිදුවීම වූ දිනයේ සිය පියා සමග බටහිර බෙංගාලය බලා යාමට පැමිණි රාජා, අතරමං වීමෙන් පසු වැරදීමකින් ගොඩවී ඇත්තේ කේරළය බලා ධාවනය වූ දුම්රියකටයි.


එතැන් සිට වසර 13ක් පුරා සිය පවුලෙන් වෙන්ව කේරළයේ ජීවත් වූ ඔහුට සිය ගම්පියස පිළිබඳව මතකයේ තිබී ඇත්තේ සීමිත තොරතුරු කිහිපයක් පමණි.


එනම් සිය දෙමාපියන්ගේ මුල් නම්, චායිබාසා යන ප්‍රදේශයේ නම සහ සිය නිවස කන්දක් හා පාසලක් අසල පිහිටා තිබූ බව පමණි.

වර්තමානයේ 20 වැනි වියෙහි පසුවන ගෝප්, ජාර්කන්ඩ් හි බටහිර සිංභූම් දිස්ත්‍රික්කයේ සොනුවා ප්‍රදේශයේ පිහිටි හරිමාරා සිය නිවෙස වෙත නැවත පැමිණ සිටියි.


2026 මාර්තු මාසයේදී සිදුවූ මෙම සංවේදී පවුල් එකමුතුව සඳහා පොලිසිය, ළමා සුබසාධන බලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන එක්ව විශාල මෙහෙයුමක් දියත්කර තිබිණි.


ඉන්දියාවේ ප්‍රමුඛ මාධ්‍ය වාර්තා කරන පරිදි, මාර්තු 10 වැනි දින කේරළයේ සිට ආපසු කැඳවාගෙන ආ ගෝප් එදිනම ඔහුගේ මව සහ සහෝදරියන් පස්දෙනා වෙත භාරදී ඇත.


එක්තරා ගඩොල් පෝරනුවක සේවය සඳහා පියා සමග බටහිර බෙංගාලය බලා යන අතරතුර රාජා ගෝප් සිය පියාගෙන් මග හැරී තිබුණේය. පොලිසිය සඳහන් කරන්නේ එවකට හය හැවිරිදි වියෙහි පසුවූ මෙම කුඩා දරුවා ගොඩවීමට නියමිතව තිබූ දුම්රිය වෙනුවට කේරළය බලා ධාවනය වූ දුම්රියකට ගොඩවී ඇති බවයි.


අවසානයේ කේරළයේ එර්නකුලම් වෙත ළඟා වූ මෙම කුඩා දරුවා, ළමා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් විසින් සොයාගැනීමෙන් අනතුරුව ළමා නිවාසයක රැකවරණයට යොමුකර තිබේ.


එම කුඩා අවදියේදී සිය මව්පියන්ගේ නම් මතකයේ තිබුණද, තමාගේ ගම නිවැරැදිව හඳුනා ගැනීමට තරම් ප්‍රමාණවත් තොරතුරක් ලබාදීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත. ඔහු දැන සිටියේ තමා ජාර්කන්ඩ් හි 'චායිබාසා' ප්‍රදේශයේ අයකු බව පමණි.

මෙම සීමිත තොරතුරු ප්‍රමාණය නිසා ඔහුගේ පවුල සොයා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් විය.

කෙසේ වෙතත්, වසර ගණනාවකට පසු මෙම සිදුවීමේ විශාල පෙරළියක් සිදු විය.


ඔහු නැවත පැමිණීමට මසකට පමණ පෙර, කේරළයේ ත්‍රිස්සූර් ළමා සුබසාධන කමිටුව විසින් බලධාරීන්ට දැනුම් දුන්නේ එහි රැඳී සිටින එක්තරා තරුණයකු තමා ජාර්කන්ඩ් හි චායිබාසා ප්‍රදේශයේ අයකු බව පවසන බවයි.


ගෝප්ට සිය පියා, මව සහ සහෝදරියන් පිළිබඳ මතකය මෙන්ම, සිය නිවස කන්දක් අසල සහ පාසලකට මායිම්ව පිහිටා තිබූ බවට වූ තොරතුරුද විස්තර කිරීමට හැකි විය.


ඉන්දීය ජනමාධ්‍ය වාර්තා අනුව මෙම තොරතුරු දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථාන වෙත ලබා දී තිබේ. ඒ අනුව ගෝප් ලබා දුන් නම් සහ අනෙකුත් තොරතුරු පරීක්ෂා කිරීම බලධාරීන් විසින් ආරම්භ කරන ලදී.

එමෙන්ම, පොලිසිය විසින් ඔහුගේ තොරතුරු සහ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේද ප්‍රචාරය කිරීමට පියවර ගත්තේය.

එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ එක්තරා පවුලක් ඉදිරිපත් වෙමින් ඔවුන්ගේ පුත්‍රයා ද වසර ගණනාවකට පෙර අතුරුදන් වූ බව පොලිසියට දැනුම් දුන්නේය.

තොරතුරු තහවුරු කරගැනීමෙන් අනතුරුව, විශේෂ පොලිස් කණ්ඩායමක් මාර්තු 8 වන දින ත්‍රිස්සූර් වෙත ගොස් මාර්තු 10 වැනි දින ගෝප් නැවත ජාර්කන්ඩ් වෙත කැඳවාගෙන ඒමට කටයුතු කළේය.

පවුලෙන් වෙන්ව ගත කළ වසර 13ක කාලය ගෝප්ගේ ජීවිතයේ ස්ථානය පමණක් නොව තවත් බොහෝ දේ වෙනස් කිරීමට සමත් විය.


PTI පුවත් සේවයට අනුව, ඔහුට දැන් මලයාලම් සහ හින්දි භාෂා කතා කිරීමට හැකි වුවද, ඔහුගේ මව් භාෂාව අමතක වී ඇත.

එමෙන්ම කේරළයේදී ඔහු පාපන්දු ක්‍රීඩාව වටා තම ජීවිතය ගොඩනගා ගැනීමටද කටයුතු කළේය.


2026 පෙබරවාරි මාසයේදී, කේරළ ළමා සුබසාධන කමිටුවේ කුසලතා සංවර්ධන සහ පුනරුත්ථාපන වැඩසටහනක් යටතේ ඔහු කන්නූර් වෙත යොමු විය. එහිදී ප්‍රදේශයේ ක්‍රියාකාරීන් Railway Children නමැති රාජ්‍ය නොවන සංවිධානය සමග සම්බන්ධ විය. පසුව ගෝප්ගේ වීඩියෝවක් චායිබාසා ප්‍රදේශය පුරා ප්‍රචාරය කෙරුණු අතර, එමගින් ඔහුගේ ගම තහවුරු කර ගැනීමට බලධාරීන්ට හැකි විය.


ගම හඳුනා ගැනීම මෙම ක්‍රියාවලියේ එක් පියවරක් පමණක් වූ අතර, ඔහු නැවත පවුල වෙත භාර දීමට පෙර ගෝප්ගේ අනන්‍යතාව තහවුරු කිරීමටද බලධාරීන්ට සිදු විය. පොලිසිය පැවසුවේ අවශ්‍ය ලිපිලේඛන සකස් කිරීමට සිදු වූ බැවින් මෙම ක්‍රියාවලිය සඳහා යම් කාලයක් ගත වූ බවයි. ගෝප්ගේ පියා මීට වසර හතරකට පෙර මියගොස් තිබූ බැවින්, මව වන මනී ගෝප්ගෙන් ලබාගත් ප්‍රකාශනයක්ද මෙම ලිපිලේඛනවලට ඇතුළත් විය.


ගෝප් අවසානයේ නැවත හරිමාරා ගම්මානයට පැමිණි විට, එම පවුල් එකමුතුව මුළු ගමටම උත්සවයක් බඳු විය.

දශකයකට වැඩි කාලයකට පසු 20 හැවිරිදි මෙම තරුණයා නැවත පැමිණෙන විට, ඔහුගේ පැරණි පාසලේ සිසුන් බෙර වාදනය කරමින් පෙරහැරක් සංවිධානය කර තිබූ අතර කාන්තාවන් විසින් ගෝත්‍රික නැටුම් ඉදිරිපත් කරනු ලැබීය. එහිදී ඔහු සිය මව සහ සහෝදරියන් හතරදෙනා වැලඳගනිමින් සංවේදී විය.


ඔහුගේ මව වන මනී ගෝප් පැවසුවේ තම පුතා තමන් සමග සිටිනවාට කැමැති වුවද, ඔහුට කේරළයේ පාපන්දු කටයුතු ඇති බවත් අධ්‍යාපනය නිම කළ යුතු බවත් තමා දන්නා බවයි. වසර ගණනාවක් පුරා ඔහු සිටින තැනක් නොදැන සිටීමෙන් පසු, ඔහු ජීවත්ව සිටින බවත් යහතින් සිටින බවත් දැනගැනීමට ලැබීම විශාල අස්වැසිල්ලක් බැවින් ඔහුගේ ඉදිරි ගමනට බාධා නොකරන බවද ඇය පැවසුවාය.


ගෝප් ද සිය ඉදිරි බලාපොරොත්තු පිළිබඳව පැහැදිලි අදහසකින් පසුවෙයි. පවුලේ සාමාජිකයන් හමුවීමෙන් පසු තමා නැවත නිවසට පැමිණීම ගැන ඉතා සතුටුවන බව පැවසූ ඔහු, මවට සහ සහෝදරියට උපකාර කිරීමට අවශ්‍ය බවත් හොඳ රැකියාවක් ලැබුණු පසු ඔවුන්ව කේරළයට කැඳවාගෙන යාමට බලාපොරොත්තු වන බවත් පැවසීය. දැනට, පාපන්දු ක්‍රීඩාව සහ ඔහුගේ අධ්‍යාපන කටයුතු කේරළයේ ජීවිතයේ කොටසක් ලෙස පැවතෙනු ඇත.

පවුලෙන් වෙන්ව වසර ගණනාවක් ගත කළද, කුඩා කල අහිමි වූ පවුල තමාට අමතක වී නොමැති බව ගෝප් පවසයි. මෙම නැවත පැමිණීම මගින් කේරළයේ ගොඩනගාගත් ජීවිතය ඉදිරියට ගෙන යන අතරම, සිය පවුල සමග ඇති සබඳතාව නැවත ගොඩනගා ගැනීමට ඔහුට අවස්ථාව හිමිවී තිබේ.

 

More News..