කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි අයෙකු මරුට
29 October 2026 | පුෂ්පකුමාර ජයරත්න - කුරුණෑගල
කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි අයෙකු මරුට
29 October 2026 | පුෂ්පකුමාර ජයරත්න - කුරුණෑගල
කොබෙයියන් බැද්දේගම ප්රදේශයේ සොරකමකට ගොස් සිටියදී ප්රදේශවාසින්ට හසුවී අල්ලාගෙන කොබෙයිගනේ පොලීසියට බාරදී සිටි පුද්ගලයෙකු හදිසියේම රෝගාතුර වීම හේතුවෙන් රෝහල් ගතකිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇති බව වාර්තා වේ.
කොබෙයිගනේ බැද්දේගම ප්රදේශයේ පදිංචිකරුවෙකු බව කියන 31 හැවිරිදි අවිවාහකයෙකු පසුගිය (27) දින එසේ මරණයට පත්ව ඇත.
ඔහුගේ වෘත්තිය කුලී වැඩ බව පැවසේ.
පසුගිය 26 දින දහවල් කාලයේදී එම පුද්ගලයා බැද්දේගම ප්රදේශයේම සොරකමකට ගොස් සිටියදී ප්රදේශවාසින් පිරිසක් ඔහු අල්ලාගෙන කොබෙයිගනේ පොලීසියට බාරදී ඇති බවද , ඉන් අනතුරුව පොලිස් විමර්ශන සිදු කෙරෙන තෙක් ඔහු පොලිස් අත්අඩංගුවේ සිට ඇති බවද සඳහන් වේ.
පොලිස් භාරයේ සිටියදී හදිසියේම රෝගාතුරව ඇති සැකකරු ප්රතිකාර පිණිස 27 දින නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහිදී මරණයට පත්ව ඇති බවද වාර්තා වේ.
බැද්දේගම ප්රදේශවාසින් විසින් මෙම පුද්ගලයා අල්ලා පොලීසියට බාර දීමට පෙර ගසක බැඳ ඉන් පසුව ඔහුට පහරදීමක් සිදුකර ඇති බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
ඒ අනුව පොලිස් භාරයට ගන්නා විටද ඔහු පහර කෑමෙන් ලද තුවාල සහිතව සිටි බවද කියයි.
මරණයට පත්ව සිටින මෙම පුද්ගලයා අධික ලෙස මත්දව්ය පානයට ඇබ්බැහි වී සිටි අයෙකු බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලැබ සිටි සැකකරුවෙකු බවද පැවසේ.
මොහු අධික ලෙස මත්ද්රව්ය පානයට ඇබ්බැහිව විවිධ සොරකම්වල යෙදී සිටීම හේතුවෙන් ඔහුගේ පියා විසින් ඔහු නිවසින් පිටමන් කර දැමූ අයෙකු වන බවද , මේ හේතුවෙන් විවිධ ස්ථාන වල රැඳී සිටිමින් කුලී වැඩ කරමින් සිට ඇති බවද සඳහන් කෙරේ.
සොරකම් වල නිරත වීම හේතුවෙන් මොහු ප්රදේශවාසින්ගේ අප්රසාදයට ලක්ව සිටි අයෙකු බවද වාර්තා වේ.
සැකකරුගේ මරණයෙන් පසුව ඒ සම්බන්ධයෙන් ඔහු අල්ලා පොලිසියට භාර දුන් බව කියන පුද්ගලයින් සිවු දෙනෙකු මේ වන විට කොබෙයිගනේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් වූ පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ ප්රදේශවාසින් ඔහු අල්ලාගෙන ගසක බැඳ පැයක් ගතවීමටත් මත්තෙන් පොලිසිය දැනුවත් කර කිසිදු උපද්රවයකින් තොරව ඔහු නිරපද්රිතව පොලිසියට භාරදී සිටියදී මෙසේ සැක කටයුතු ආකාරයට මරණයට පත්ව සිටින බවය.
එසේම ප්රදේශවාසින් අතින් යම් පහරකෑමකට ලක්ව තුවාල ලබා සිටියා නම් පොලිස් අත්අඩංගුවට ගත් විගස ප්රතිකාර පිණිස ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගත යුතුව තිබූ බවටද ඥාතින් චෝදනා කරති.
මීට පෙර අවස්ථා කීපයකදීම මරණයට පත් පුද්ගලයා විසින් සිදු කරන ලද සොරකම් සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කර තිබූ බවත්, එවිට පොලිසිය විසින් ඔහුව අල්ලා තමන් වෙත භාර දෙන ලෙස උපදෙස් දී තිබූ බවත් අත්අඩංගුවට පත් වූ අයගේ ඥාතීන් වැඩිදුරටත් පවසති.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (29) කුරුණෑගල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

