brand logo
logo
වොලිබෝල් පිලට පාකිස්තානයේදී පළමු ජය

වොලිබෝල් පිලට පාකිස්තානයේදී පළමු ජය

24 July 2026

පාකිස්තානයේ ඉස්ලාමාබාද්හිදී පැවැත්වෙන මධ්‍යම ආසියානු වොලිබොල් ශූරතාවලියේ සිය දෙවැනි තරගය ඊයේ (23 වැනිදා) නේපාලයට එරෙහිව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තියුණු තරගයකින් අනතුරුව තරග වට 3-2ක් ලෙස නේපාලය පරාජය කරමින් තරගාවලියේ සිය පළමු ජය හිමිකර ගැනීමට සමත් වූහ.


තරගයේ පළමු වටය ආරම්භයේ සිටම පෙරමුණ තහවුරු කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රමයෙන් ලකුණු පරතරය වැඩි කරගත් අතර ලකුණු 25-18ක ජයක් සමග තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් විය. අනතුරුව දැඩි තරගකාරිත්වයක් දක්නට ලැබුණු දෙවැනි වටයෙන් තරගයට අවතීර්ණ වූ නේපාල කණ්ඩායම එම වටය ලකුණු 21-25ක් ලෙස ජයගත් අතර අනතුරුව තෙවැනි වටය ලකුණු 19-25ක් ලෙස ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනය එල්ල කිරීමට සමත් විය.


ශ්‍රී ලංකා කණ්ඩායමට තවදුරටත් තරගයේ රැඳී සිටීම සඳහා ජයග්‍රහණය අත්‍යවශ්‍ය වූ සිව්වැනි වටයේ මුල කොටසේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සාර්ථකව ලකුණු ‍රැස් කිරීම ඇරැඹූ අතර එක් අවස්ථාවක ලකුණු පරතරය 5ක් දක්වා වැඩි කරගැනීමට සමත් වූහ. එනමුත් පසුව නේපාල ක්‍රීඩකයන් එම ලකුණු පරතරය අවම කර ගනිමින් සාර්ථක අභියෝගයක් එල්ල කළද, ලකුණු 25-21ක් ලෙස එම වටය ජය ගනිමින් තරගය අවසන් වටය දක්වා ගෙනයාමට ශ්‍රී ලංකා පිල සමත් විය.


තරගයේ ජය තීන්දු කරන අවසන් වටයේදී දෙපිළම ලකුණු 9ක් වනතෙක් සම සමව ලකුණු රැස් කරමින් ඉදිරියට පැමිණීමට සමත් විය. ඉන් අනතුරුව වේගවත් ඩෑෂ් පහර සහ ප්‍රතිවාදීන්ගේ වැරදි ඔස්සේ ලකුණු එකතුකරගත් ශ්‍රී ලංකා පිල ලකුණු 15-10ක ජයක් සමගින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් විණි.


ඒ.ඩී. සංදීප තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වූවේය. ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි තෙවැනි තරගය අද (24 වැනිදා) උස්බෙකිස්තානය සමගින් යෙදී ඇත.


 

More News..