ගලගොඩඅත්තේ හිමියන්ගේ චීවරය ගැලවූයේ කාගේ වුවමනාවකටද ?
08 October 2026
ගලගොඩඅත්තේ හිමියන්ගේ චීවරය ගැලවූයේ කාගේ වුවමනාවකටද ?
08 October 2026
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ගලවා ඉවත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම නිසා මේ වන විට බෞද්ධ සමාජය තුළ පමණක් නොව මධ්‍යස්ථ ශ්‍රී ලාංකේය ජන විඥානය තුළ යම් කම්පනයක් ඇතිව තිබෙන බව රහසක් නෙවේ. ගලගොඩඅත්තේ හිමියන් බන්ධනාගාර ගත වූයේ අද ඊයේ නොවේ. සිරබත් කෑවේ ද පළමු වතාවට නොවේ. අප දන්නා කියන කාලයේ සිටම උන්වහන්සේ සිරගත කරනු ලැබූහ. ඒ විවිධ ආණ්ඩු රට කරවූ කාලයේය. එහෙත් ඒ කිසි කලෙක සිටි බන්ධනාගාර ලොක්කෙක් උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරය ඇන්දවීමට කටයුතු කළේ නැත. වත්මන් ආණ්ඩුව යටතේ පත්කළ බන්ධනාගාර කොමසාරිස්වරයා ඒ හපන්කමද කර තිබේ. එය හපන්කමක් යැයි ඔවුන් සලකන බව පැහැදිලි වනුයේ කල් තියාම උන්වහන්සේට ජම්පරය අන්දවන බවට වහසි බස් දෙඩවීම නිසාය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ එකී තීරණය එම දෙපාර්තමේන්තුව පාලනය කරන ආඥා පනතටද පටහැනි බව පැහැදිලිය. සුද්දන්ගේ නීතියටද පිටින් ගොස් උන්වහන්සේගේ චීවරය ගැලවූයේ කාගේ වුවමනාවට දැයි යන ගැටලුව බෞද්ධ පමණක් නොව රටේ මධ්‍යස්ථ පිරිස් තුළද ඇතිවීම පුදුමයක් නොවේ. මෙයින් සතුටු වන්නේ කවුරුන්දැයි පාර්ලිමේන්තුවේද ප්‍රශ්න කෙරිණ.
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී ද කඩහපොළ, වාරියපොළ ආදී මහ යතිවරුන්ට සිරබත් කෑමට සිදු වුවද සුදු පාලකයන් උන්වහන්සේලාගේ චීවරය ගැලවීමට පියවර ගත්තේ නැත. චීවරයට අත තැබුවේ නැත. හේන්පිටගෙදර ඤාණසීහ නායක හිමියන් සිරගත කරනු ලැබුවේ රාජ්‍යද්‍රෝහී කුමන්ත්‍රණයක යෙදුණේ යැයි චෝදනා කරමිනි. එවැනි බරපතළ චෝදනාවක් යටතේ නඩු විභාග කර සිරගත කරනු ලැබුවද උන්වහන්සේගේ චීවරයට කිසිවෙක් හෝ අත තැබුවේ නැත. එවැනි පසුබිමක ඥානසාර හිමියන්ගේ චීවරයට අත තැබූයේ කවර පදනමකින් දැයි විමසිය යුතුය. උන්වහන්සේට එරෙහිව අධිකරණය ලබා දුන් තීන්දු අප ප්‍රශ්න කරන්නේ නැත. රටේ සියලු පුරවැසියන් නීතියට ගරු කළ යුතුය. අප දන්නා පරිදි අධිකරණ විනිසුරන් උන්වහන්සේගේ චීවරය ගලවා ජම්පරය අන්දවන්නැයි සඳහන් කර නැත.
අනෙක් අතට භික්ෂූන් වහන්සේට බලපාන විනය නීති අනුවද භික්‍ෂුවකගේ චීවරය ගැලවීමට රාජ්‍යයට අයිතියක් නොමැත. එවැනි අයිතියක් තිබෙන්නේ උන්වහන්සේ නියෝජනය කරන නිකායේ හෝ සංඝ සභාවේ ධර්ම විනයධර නාහිමිවරුන්ට පමණි. එක් එක් පුද්ගලයාට හෝ ආයතනයට හිතෙන ආකාරයට, භික්ෂුන් වහන්සේ නමකගේ චීවරය ගැලවිය නොහැකිය. රජ කාලයේ ද භික්ෂුන් වහන්සේලාට දඬුවම් දුන් අවස්ථා මහාවංසය ඇතුළු මූලාශ්‍රවල සඳහන් වෙයි. ඒ බොහෝ තැන්වල සඳහන් වන්නේ උන්වහන්සේලාට චීවරය පිටින් ම දඬුවම් ලබාදුන් ආකාරයයි.
ගිහි ජීවිතයෙන් නික්ම පැවිදි ජීවිතයට යොමුවන කුලපුත්‍රයකු චීවරය පොරවනුයේ ගිහියකු ඇඳුමක් අඳින ආකාරයට නොවේ. චීවරය පොරවනුයේ විනය කර්ම රැසක් කිරීමෙන් පසුවය. ඒ පිළිබඳ දීර්ඝ කාලීන සම්ප්‍රදායක් ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය තුළ තිබෙන බව අප නොදන්නවා නොවේ. ඥානසාර හිමියන්ද චීවරය පොරවා තිබෙන්නේ එකී ථෙරවාදී සම්ප්‍රදාය අනුවය. උන්වහන්සේ කඩේකින් චීවරයක් ගෙන පොරව ගත්තේ නැත. උන්වහන්සේගේ කරේ සිවුරු පටිය දැම්මේ ජ්‍යෙෂ්ඨ භික්ෂුන් වහන්සේලා විසිනි. එවැනි චීවරයකට අත තැබීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හයියක් ලැබුණේ කෙසේදැයි භික්ෂුන් වහන්සේලා විමසීම සාධාරණය. යුක්ති සහගතය. මහින්දාගමනයේ සිට මේ රටේ තීරණාත්මක ගාමක බලවේගය බවට පත් වූයේ භික්ෂුන් වහන්සේය. විවිධ අභියෝග පැමිණියද එය වෙනස් වූයේ නැත. ඥානසාර හාමුදුරුවන්ගේ චීවරය ගැලවීමෙන් එකී ගාමක බලවේගය විනාශ කළ හැකි යැයි යමෙක් තක්සේරු කරන්නේ නම් එය මුළාවක් පමණි. කවුරුන්ගේ හෝ අනුදැනුමෙන් කළ කටයුත්තෙන් සිදුව තිබෙන්නේ භික්ෂුන් වහන්සේලා සහ බෞද්ධ සමාජය යළි එක්සත්ව නැගී සිටීමය. මේ රටේ බෞද්ධ පදනමට පහර ගසා බිඳ වැටිය හැකි යැයි යමෙක් විශ්වාස කරන්නේ නම් එයද මහමුළාවකි. එකී පදනම වසර දෙදහසකට අධික කාලයක් තිස්සේ තදින් මේ මහ පොළොවේ මුල් බැසගත්තකි. එයට එරෙහිව විවිධ ආගම්ද මාක්ස් ලෙනින්වාදයද පැළකිරීමට උත්සාහ කළ ද එකී වෑයම් හිතූ තරම් සාර්ථක වූයේ නැත. එනිසා රටේ මහජනතාව වෙනුවෙන් කළ හැකි බොහෝ දේවල් තිබියදී ඥානසාර හිමියන්ගේ චීවරය ගැලවීම ප්‍රධානම කාර්යය සේ සලකන්නේ නම් එය කෙතරම් ප්‍රඥා ගෝචරදැයි විමසිය යුතුය. කෙසේ හෝ කවුරුන්ගේ හෝ අනුදැනීමෙන් කළ වැඩෙන් සිදු වූයේ දෙබරයකට ගල්ගැසීමකි.

