brand logo
logo
රටින් ගෙනැල්ලයි අපි කන්නේ

රටින් ගෙනැල්ලයි අපි කන්නේ

22 July 2025

කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත ජාතික ජන බලවේග ආණ්ඩුවේ තවත් එක් අමාත්‍යවරයකු නොව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකි. 2019 දී ජාජබට උපත දුන් ජනතා විමුක්ති පෙරමුණේද ඔහු මුල් පෙළේ කෙනෙකි. ඔහු ප්‍රසිද්ධිය උසුලන්නේ විවෘතව කතා කිරීම ගැනය. මේ නිසා ලාල් කාන්තට රටේ ලොකු ජනප්‍රියත්වයක්ද තිබේ.


ඊයේ පෙරේදා දවසක අපේ මේ කථානායකයා බරපතළ කතා දෙකක් දෙසා බෑවේය. එකක් වැව් තාවුලුවල ඇති සියලු ඉදිකිරීම් ඉවත්කරන බවය. ඒ ප්‍රකාශයත් සමග ඔහුට පොළොන්නරුවේ වැව් තාවුල්ලක ඇති සුප්‍රකට හෝටලය හා එහි අයිතිකාරයා ගැනද කතා නොකර බැරි විය. එහිදී ඔහු කියා සිටියේ තමන්ට ඒ ව්‍යාපාරිකයා ලොකු නැති බවය. කවුරු ලොකුද කවුරු පොඩිද කියා කාලයා විසින් නිර්ණය කරනු ඇති බැවින් මේ අවස්ථාවේ අප ඒ ගැන ලියන්නට යන්නේ නැත.


කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අනෙකුත් කතාවද, ඒ කතාව තරම්ම නොවේ නම් ඊටත් වඩා බරපතළය. එහිදී ඔහු කියා සිටියේ වෙළෙඳපොළේ හාල් මිල ඉහළ ගියහොත් ස්ථිර වශයෙන්ම පිටරටින් හාල් ගෙන්වන බවය. රසවත් කථිකයකු වූ ලාල් කාන්ත එතෙකින් නැවතුණේ නැත. "අපි වවලයි අපි කන්නේ" යන්න සිය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන බව ඔහු නොවළහා කියා සිටියේය.


මේ ප්‍රකාශය නිකුත් කළ සැණින් කෘෂිකර්ම අමාත්‍යවරයාට රට පුරා ගොවි සංවිධානවලද, ගොවි නායකයන්ගේද දැඩි විරෝධය එල්ල වන්නට විය. එය කිසිසේත් පුදුම විය යුත්තක් නොවේ. අස්වනු කපන කාලයේදී හාල් පිටරටින් ගෙන්වීම තරම් ගොවීන්⁣ගේ අප්‍රසාදයට ලක්වන වෙනත් කාරණයක් නැති නිසාය. හැරත් මීට මාස දහයකට කලින් ආණ්ඩු බලය ගැනීමට පෙර ජාජබ සිටියේ එබඳු ස්ථාවරයක නොවේ.


එසේ වුවද හාල් මිල ඉහළ යන විට පිටරටින් හාල් ගෙන්වීම මේ ආණ්ඩුව පටන්ගත් දෙයක් නොවේ. එය මෙතෙක් පැවති හැම ආණ්ඩුවක්ම කළ වැඩෙකි. එමෙන්ම ඒ අවස්ථාවලදී ඒ හැම ආණ්ඩුවක්ම ගොවීන්⁣ගේද, ගොවීන්⁣ගේ පාර්ශ්වයේ සිටි දේශපාලනඥයන්ගේද විරෝධයට ලක් වුණේය. 2024 සැප්තැම්බර් මාසය දක්වා එසේ ගොවීන්⁣ සමග සිටගත් දේශපාලන සංවිධානය වූ⁣යේ ජනතා විමුක්ති පෙරමුණයි.


"හාල් මිල ඉහළ යනකොට පිටරටින් හාල් ගෙන්වන්න නම් ආණ්ඩුවක් මොකටද? ඒ වැඩේ පිටකොටුවේ නාඩාර් කෙනකුටත් කරන්න පුළුවන්නෙ" යැයි මෙබඳු අවස්ථාවකදී උදාන වාක්‍යයක් කීවේද ජනතා විමුක්ති පෙරමුණය. ගොවීන්⁣ගේ කුදුමහත් ප්‍රශ්නවලදී ගොවි බිම්වලට බැස, ගොවීන්⁣ සමග අත්වැල් බැඳගෙන සිටි ඔවුන් ඒ කතා ක⁣ළේ තමන් නායකත්වය දුන් පිරිස් වෙනුවෙනි. ජවිපෙ නායකත්වය තරම් ගොවි ප්‍රශ්න ගැන දැනුමක් ඇති, කැක්කුමක් ඇති වෙනත් පිරිසක් රටේ පෙනෙන්නට සිටියේ නැත. ඔවුන් කොළඹ සිට පැමි⁣ණ ගොවි ප්‍රශ්න කතා කළාද නොවේ. ඔවුහු ගොවි පවුල්වල දරුවෝ වූහ.


එදා තමන් සමග එකට අමුඩය ගසාගෙන සිටි ජවිපෙ සහෝදරවරුන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් වීමත් සමග ගොවිතැන පිළිබඳ තමන්ට මෙතෙක් තිබූ ප්‍රශ්න දුරීභූතවී යනු ඇතැයි ඔවුන් සමග එකට සටන් කළ ගොවීන්⁣ සිතුවාට සැක නැත. එහෙත් කාලයාගේ ඇවෑමෙන් පෙනී ගියේ අමාත්‍යංශ විසින් එදා ගත් තීරණයන්ම මෙදාද ගැනෙන බවය. අමාත්‍ය පුටුවේ වාඩිවූ තැනැත්තා වෙනස්වීම නිසා අමාත්‍යංශයේ ක්‍රියා පරිපාටිය වෙනස් වී නැත.


ලාල් කාන්ත ගිනිකූර විසි කළේ ගිනි ගැනීමට ඔන්න මෙන්න කියා තිබුණු ගොවි බිමටය. ටෙලිවිෂන් ප්‍රවෘත්තිවලදී මේ ගැන සිය අදහස් දැක්වූ ගොවි නායකයන් ප්‍රශ්න කළේ "දැන් මේ ආණ්ඩුවේත් කලින් තිබුණු ආණ්ඩුවලත් වෙනස කුමක්ද ?" කියාය. ඇත්ත නේන්නම්. ගොවීන්⁣ගේ ප්‍රශ්න හොඳින් දැන නොසිටි ආණ්ඩු කළ දේම, ගොවි ප්‍රශ්න පිරිසිඳ දන්නා නායකයන්ද කරන්නේ නම් කාට පවසම් ඒ අමාරුව?


රජයටද ගොවීන්⁣ගේ පැත්තෙන් පමණක් හාල් ප්‍රශ්නය දිහා බලන්නට බැරි බව ඇත්තය. හාල් මිල පාරිභෝගිකයන්ට දරාගන්නට නොහැකි තරමින් ඉහළ යද්දී ගොවීන්⁣ට සාධාරණ මිලක් ලබාදීම සම්බන්ධයෙන් පමණක් කතා කිරීමට ඔවුන්ට බැරිය. එහෙත් වර්තමාන ආණ්ඩුවේ නායකයන් විපක්ෂයේ සිටියදී කරදර වූ⁣යේ පාරිභෝගිකයා ගැන නොවේ. ගොවියා ගැනය. එහෙත් විපක්ෂයේ සිට ආණ්ඩු කරන හැටි කීමත්, ආණ්ඩු කිරීමත් එකක් නොව දෙකකි.

 

More News..