Best News Website award
brand logo
logo
කෘත්‍රිම උත්තේජක මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැඩිවෙලා

කෘත්‍රිම උත්තේජක මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැඩිවෙලා

23 November 2026 | සාලිය කුමාර ගුණසේකර


ශ්‍රී ලංකාව තුළ කෘත්‍රිම උත්තේජක ගණයේ මත්ද්‍රව්‍යවල ව්‍යාප්තිය වැඩිවෙමින් පවතින බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් නිකුත් කරන ලද නවතම පර්‌යේෂණ වාර්තාව මගින් සඳහන් කරයි.


ඉකුත් වසරේදී (2025) ශ්‍රී ලංකාව පුරා මත්ද්‍රව්‍ය සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 262,321 ක් වාර්තා වී ඇති අතර 2021 වසරේදී වාර්තා වූ අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාව 110,031 කි. 2021 වසරට සාපේක්ෂව 2025 වසර වන විට අත්අඩංගුවට ගැනීම් 2.4 ගුණයකින්ඉහළ ගොස් තිබෙන බව එම වාර්තාවේ දැක්වේ.


ඉකුත් වසරේදී (2025) මෙතැම්පිටමින් (අයිස්) සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 92,650 ක් වාර්තා වේ. මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම්වලින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ මෙතැම්පිටමින් (අයිස්) භාවිතය සම්බන්ධයෙනි. එම අත්අඩංගුවට ගැනීම් ප්‍රතිශතයක් ලෙස සියයට 35.2 ක් වන්නේය. මීට අමතරව, 2025 වසරේදී හෙරොයින් සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 81,339 (30.9%) ගංජා සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 76,058 (28.9%) ක්ද වාර්තා වන්නේය.


කොකේන් සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 149 ක්ද, හෂීස් සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 1,946 ක්ද ඉකුත් වසරේදී වාර්තාවී තිබේ.


අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කරන පරිදි 2021-2025 කාලය තුළදී මෙතැම්පිටමින්(අයිස්) සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් වේගවත්ව වර්ධනයවී තිබේ. 2021 වසරට සාපේක්ෂව 2025 වසර වන විටදී අයිස් සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් හය ගුණයකට වඩා වේගයකින් ඉහළ ගොස් තිබේ. විශේෂයෙන් 2023 වසරින් පසු මෙහි වර්ධනයක් දක්නට ලැබෙන්නේය.


ගංජා සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 2021 වසරේදී 44,239 ක් වාර්තා වූ අතර, 2025 වසර වන විට එම සංඛ්‍යාව 76,058 ක් දක්වා වැඩිවී ඇත. 2021 වසරේ සිට 2025 දක්වා කාලය තුළදී ගංජා සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් ආසන්න වශයෙන් සියයට 72 කින් වැඩිවී ඇත.


එමෙන්ම, ඉකුත් වසර වන විටදී මත්ද්‍රව්‍ය මිල ගණන් ද ඉකුත් වසර (2025) වන විටදී විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බව අදාළ වාර්තාවේ දැක්වේ.


වීථි මට්ටමේ මිල ගණන්වලට අනුව, ගංජා සියයට 7.1 කින්ද, හෙරොයින් සියයට 10 කින්ද, කොකේන් සියයට 9.4 කින්ද මිල වැඩිවී තිබේ. කොකේන් තොග මිල පමණක් සියයට 33 කින් ඉහළ ගොස් ඇත.

 

More News..