brand logo
logo
රත්මලාන ගුවන්තොටුපොළ ආසන්නයේ අධි ආරක්ෂිතයේ රහස් රූපවාහිනි මධ්‍යස්ථානයක්

රත්මලාන ගුවන්තොටුපොළ ආසන්නයේ අධි ආරක්ෂිතයේ රහස් රූපවාහිනි මධ්‍යස්ථානයක්

20 May 2026

රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ අධි ආරක්ෂිත කලාපයේ නීති විරෝධී සහ රහසිගත ලෙස පවත්වාගෙන ගිය රූපවාහිනී සහ ගුවන් විදුලි මධ්‍යස්ථානයක් වැටලීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඊයේ (19 වැනිදා) සමත් විය.


එම ස්ථානයේ මෙහෙයුම් කටයුතුවල යෙදී සිටි මාලදිවයින් ජාතිකයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.


එම ස්ථානයේ තිබී රුපියල් කෝටි පහකට ආසන්න වටිනා අඩි 08 ක් පමණ උස සැටලයිට් රැක් 01 ක්, පාවිච්චි කරන ලද සැටලයිට් රිසිවර් 10 ක්, පාවිච්චි නොකරන ලද සැටලයිට් රිසිවර් 04ක්, සැටලයිට් හිස් පෙට්ටි 16 ක්, විශාල ප්‍රමාණයේ සැටලයිට් ඩික්ස් 05 ක් විශාල ප්‍රමාණයේ රූපවාහිනි යන්ත්‍රයක්, පරිගණක තුනක්, සැටලයිට් ස්ටාර්ලින්ක් 01 ක් පොලිස් භාරයට ගෙන ඇත.


රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයේ අධි ආරක්ෂිත කලාපයේ අත්තිඩිය ප්‍රදේශයේ සංචාරක සමාගමක් මුවාවෙන් නීති විරෝධී සංනිවේදන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේට ලද තොරතුරකට අනුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ සහයෝගයෙන් මෙම වැටලීම සිදුකර තිබේ.


මෙම නීති විරෝධී මධ්‍යස්ථානය පෞද්ගලික දුරකථන සමාගමක දත්ත උපයෝගී කරගෙන සැටලයිට් මාර්ගයෙන් රූපවාහිනී නාලිකා බාගත කර නීති විරෝධී ලෙස එම නාළිකා සහ ගුවන් විදුලි සේවාව ජාත්‍යන්තරය වෙත එම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා මත මෙරට බෙදා හරින මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. අධි ආරක්ෂිත කලාපයේ පිහිටි මෙම මධ්‍යස්ථානය මාලදිවයින් ජාතිකයන් විසින් මෙහෙයවන බැවින් අයි එස් අයි එස් සංවිධානය හෝ වෙනයම් ත්‍රස්ත සංවිධානයක් සමඟ සබඳතා පවත්වමින් කිසියම් නීති විරෝධී කටයුතුවල යෙදී ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් කටයුතු කර ඇත්දැයි සොයා දීර්ඝ විමර්ශනයක් ද සිදු කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවැසීය.


ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති නිරන්ත ගමගේ, උප පොලිස් පරික්ෂක කුමාරසිරි කවිසංඛ, පොලිස් සැරයන් 52373 විජයරාජ්, පොලිස් කොස්තාපල්වරුන් වන 30177 සංජීව, 102222 කරුණාරත්න, 102364 බුද්ධික, 80965 එදිරිසිංහ පරීක්ෂණ පවත්වති.

 

More News..