brand logo
logo
ආචාර්ය හරිනි අමරසූරිය අගමැති ලෙස දිවුරුම් දෙයි

ආචාර්ය හරිනි අමරසූරිය අගමැති ලෙස දිවුරුම් දෙයි

24 September 2024

රජයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (24 වැනිදා) ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නාය.


ඇය මෙරට තුන්වැනි අගමැතිවරිය වන අතර මිට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එම තනතුර දරා තිබිණි. සිරිමාවෝ මැතිනිය ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරියද වුවාය.


නව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය සහ ආයෝජන ඇමැතිවරිය ලෙසද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නාය.


2020 වසරේ මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරියක් ලෙස පාර්ලිමේන්තුවට පත්වූ ඇය දේශපාලනයට පිවිසීමට පෙර කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස සේවය කළාය.


1970 මාර්තු 6 වන දින කොළඹ දී උපත ලැබූ ආචාර්ය හරිනි අමරසූරිය කොළඹ බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වී ඇත.


ඇය විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ 2012 සහ 2013 වසරවල ලේකම්වරිය ලෙස කටයුතු කර ඇති අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් ලෙස 2014, 2015දී කටයුතු කර ඇති අතර ලේකම්වරිය ලෙස 2016 දී කටයුතු කළාය.


ඊට අමතරව ඇය මෑතකාලීනව නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් ගෙන යන ලද අරගල රැසකට ද සම්බන්ධ වී තිබිණි.


ඇය පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ කාන්තා සංසදය ඇතුළු තනතුරු රැසක්ද දරා තිබේ.

 

More News..