කුසගින්නේ මළත් දොළහෙන් පසු දන් නොවළඳන බලන්ගොඩ කස්සප හිමි
14 November 2026 | වරුණ අබේසේකර
කුසගින්නේ මළත් දොළහෙන් පසු දන් නොවළඳන බලන්ගොඩ කස්සප හිමි
14 November 2026 | වරුණ අබේසේකර
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමෙන් පසු උද්ගත වූ ගැටලුකාරී පසුබිම තුළ බෙහෙවින් ඉස්මතු වූ පැවිදි චරිතය බලන්ගොඩ කස්සප හිමිය. උන්වහන්සේගේ නම මුලින්ම කරලියට ආවේ ගෝල්ෆේස් අරගලය පැවැති කාලයේය. එම කාලයේ උන්වහන්සේ අරගල බිමේ පැල් බැඳ ගත්හ. ගිය සතියේ උන්වහන්සේ අනුරාධපුර පූජා නගරයේ මාරාන්තික උපවාසයක් ඇරඹූහ. ඒ හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත්ව මේ මොහොතේ සිටින්නේ රිමාන්ඩ් භාරයේය.
ඇත්තට කවුද මේ බලන්ගොඩ කස්සප හිමි? උන්වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ වනවාස පාර්ශ්වයට අයත් භික්ෂූන් වහන්සේ නමකි. එම නිකාය මූලස්ථානයෙන් විමසීමේදී තහවුරු කළේ නිසි පරිදි ආචාර්ය උපාධ්‍යායන් යටතේ බලන්ගොඩ කස්සප නමින් ඒ හිමියන් පැවිදි වී තිබෙන බවය. උන්වහන්සේ පැවිදි වී තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් දෙල්දුව විවේකාරාම යෙදීය.
ඒ 2015 වසරේ පෙබරවාරි මසය. උන්වහන්සේගේ ආචාර්යවරයාණන් වහන්සේ රාජකීය පණ්ඩිත කිරින්දේ චන්දසුමන මහ තෙරුන් වහන්සේය. එහෙත් උන්වහන්සේ 2013 වසරේදී පැවිදි වී තිබෙන බව ඒ හිමියන් ළඟින් ඇසුරු කරන සිංහල සංවිධාන එකමුතුවෙහි කැඳවුම්කරු දුලාර ගුණතිලක සඳහන් කරයි. 2015 වසර යන්න උන්වහන්සේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සාමණේර හිමිනමක් හැටියට ලියාපදිංචි වූ වර්ෂය විය හැකි බව ඔහුගේ අදහසයි. ගිහි කල මුනිහුම් දුරගේ කසුන් කුලරත්න යන නම දැරූ කස්සප හිමි 1993 පෙබරවාරි 9 බලංගොඩ උපත ලබා පැවිදිවීම සඳහා පැමිණෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයටය. සමහරුන් සඳහන් කරන්නේ උන්වහන්සේ බටපොල කහට පිටියේ යෝගාශ්රමයට පැමිණ කලක් පැවිද්ද අපේක්ෂාවෙන් සිටි බවය. එහෙත් ඔවුන් සඳහන් කරන්නේ කසුන් පැවිදි වූයේ කරන්දෙණිය අගුලුගහ ඇටමැස්සන්කන්ද ශ්‍රී සුගත යෝගාශ්‍රමයේදී බවය.
දුලාර ගුණතිලක අප සමග සඳහන් කළ ආකාරයට ගිහිකල විද්‍යා විෂය ධාරාව යටතේ උසස් පෙළ අධ්‍යාපනය ලබා තිබෙන කස්සප හිමි කලක් පාරිවේණික ගුරුවරයකු හැටියටද කටයුතු කර තිබේ. ඒ අනුව තරුණ වයසේ පැවිදි වී තිබෙන කස්සප හිමි ආරණ්‍යවාසී හිමිනමක් හැටියට වැඩ වාසය කර තිබෙන බව පෙනේ.
කස්සප හිමියන් නමින් ෆේස්බුක් ගිණුම් කිහිපයක් තිබෙන අතර ඒවා නිරීක්ෂණය කරන විට පැහැදිලි වනුයේ උන්වහන්සේ ජාතික හා ශාසනික ගැටලු කෙරෙහි අවධානය යොමු කර තිබෙන බවය.
එක් ෆේස්බුක් ගිණුමක උඩින්ම තිබෙන්නේ "සිංහල බෞද්ධ රාජ්‍යයක් ගොඩනඟමු" යන තේමාවය.
තවත් ගිණුමක සඳහන් වනුයේ "එන්න, අපිත් සැමොම නිර්මල බුදු දහම සුරකිමු" යන්නය.
එසේම උන්වහන්සේ අනුරාධපුර රුවන්වැලි සෑය, ජේතවනාරාමය සහ පොළොන්නරුවේ සෝමාවතිය ඇතුළු ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන පදනම් කරගෙන භාවනා වැඩසටහන් ඇතුළු පින්කම් රැසක් කුඩා දරුවන් සහ තරුණයන් ඇතුළු විවිධ වයස්වල අය සහභාගි කරගෙන පවත්වා තිබෙන බව දැකගත හැකිය.
සාමණේර පැවිද්ද ලබාගැනීමෙන් පසු උන්වහන්සේ උපසම්පදාව ද ලබා තිබෙන බව සමහර තොරතුරු අනුව කල්පනා කළ හැකිය. එහෙත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙහි උන්වහන්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් හැටියට ලියාපදිංචි වී නොමැති බව අපට දැන ගන්නට ලැබුණි. ඒ පිළිබඳ කරුණු විමසීමේදී දුලාර ගුණතිලක අපට සඳහන් කළ කරුණක් මෙහිලා සටහන් කළ යුතුය. උපසම්පදා වීමෙන් පසුව රාමඤ්ඤ නිකායෙන් ලැබුණු සංගීති සහතිකය උන්වහන්සේ සතුව තිබුණද එය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ලියාපදිංචි නොවන්නේ කවර හේතුවක් නිසාද යි විමසූ දුලාරට උන්වහන්සේ ලබාදී තිබෙන්නේ මෙවැනි පිළිතුරකි.
"උපසම්පදාව කියන්නේ මගේ පැවිදි ජීවන චරියාව පිළිබඳ දෙයක්. මා උපසම්පදා භික්ෂුවක් බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙහි හෝ වෙනත් තැනක ලියාපදිංචි කරන්නේ මොකටද?’’
බළන්ගොඩ කස්සප හිමි ලොකු කුඩා සිල් පද කෙරෙහිද බෙහෙවින් අවධානය යොමු කරන හිමිනමක් බව උන්වහන්සේ ළඟින් ඇසුරු කළ කිහිප දෙනෙක් පැවසූහ. විශේෂයෙන් උන්වහන්සේ දහවල් දොළහෙන් පසු කිසිදු ආහාරයක් නොගන්නා බවත් දොළහ පසුවී ලැබෙන දානය භාර නොගන්නා බවත් අප සමග පැවසුවේ උන්වහන්සේ සමග එකට තිරිකුණාමලය බන්ධනාගාරයේ රිමාන්ඩ් කර සිටි දුලාර ගුණතිලකය.
"තිරිකුණාමලය බන්ධනාගාරයේදී බොහෝ විට ආහාර ලැබුණේ දහවල් දොළහ පහුවෙලයි. එවැනි අවස්ථාවලදී කශ්‍යප හාමුදුරුවෝ දානය වැළඳීම ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ නැවත දානය වැළඳුවේ පහුවදා උදෑසනයි. සමහර අවස්ථාවලදී බන්ධනාගාර නිලධාරීන් හිතාමතාම දහවල් දානය ප්‍රමාද කළ බව උන්වහන්සේ වරක් අධිකරණයේදී විනිසුරුවරයාට පැවසුවා. නුවර පා ගමනටත් උන්වහන්සේ අඛන්ඩව සහභාගි වුණා. ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා සමගයි උන්වහන්සේ පා ගමනට එකතු වුණේ. ඒ පාගමනේදීත් උන්වහන්සේ නිසි වේලාවට දානය වැළඳුවා. ඉන්පසු ලැබෙන ආහාරපාන කෙතරම් ප්‍රණීත වුවත් උන්වහන්සේ භාරගත්තේ නැහැ. විහාර මහා දේවී උද්‍යානයේදී උන්වහන්සේ දැඩි සේ ගිලන් වුණත් දොළහෙන් පසු ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ දැඩි සේ උණ හැදී දැඩි සේ ගිලන් වූ පසුවයි දායක දායිකාවන් කිහිපදෙනෙකු එකතු වී කිංග්ස්බරි හෝටලයට රැගෙන ගොස් විවේකයෙන් සිටීමට සලස්වා වෛද්‍ය ප්‍රතිකාර කළේ. උන්වහන්සේගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කල්පනා කරල තමයි එවැනි තැනකට රැගෙන ගොස් විවේකයෙන් සිටීමට සැලැස්සුවේ.. මොකද ඒ අවස්ථාවේ රෝහලකට උන්වහන්සේ රැගෙන යාම අනතුරුදායක බව අප කල්පනා කළා".
බලන්ගොඩ කස්සප හිමි 2021 වසරේදී පමණ තමන් වහන්සේ හමුවීමට පැමිණි බවත් එසේ පැමිණ මාස කීපයක් රාජගිරිය සදහම් සෙවණ ආයතනයෙහි නතර වී යෝග සහ තායිචී පුරුදු පුහුණු කරමින් විවේකයෙන් වැඩ සිටි බවත් අතුරලියේ රතන හිමියෝ අපට පැවසූහ. එසේම උන්වහන්සේ තමන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේ කණ්ඩායමක් සමග බුද්ධගයාව ඇතුළු දඹදිව සිද්ධස්ථානවලට වන්දනාවක නිරත වූ බවත් රතන හිමියෝ පවසති. පසුව යම් යම් කරුණු පිළිබඳ මතභේද පදනම් කරගෙන සදහම් සෙවණෙන් බැහැර වුවත් විටින් විට උන්වහන්සේ තමන් වහන්සේ සමග විවිධ කරුණු සාකච්ඡා කළ බවත් රතන හිමියෝ පවසති.
උන්වහන්සේ කලකට පෙර සාක්‍ය පුත්‍ර ජාතික සභාව නමින් සංවිධානයක් පිහිටුවා ගෙන කටයුතු කර තිබේ.


