වධකයන් ගුරු වෙස් ගැනීම!
06 August 2025
වධකයන් ගුරු වෙස් ගැනීම!
06 August 2025
හෝමාගම ප්‍රදේශයේ පාසලක පහළොස් හැවිරිදි සිසුවියක් සියදිවි නසා ගත් පුවත රටේ ප්‍රමාණවත් අවධානයට ලක් නොවූ බව අපගේ අදහසය. විවිධ දේශපාලන අලකලංචි පිළිබඳවම බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබේ. ඒ අතර මේ දිනවල ජනකාන්ත මනකාන්ත මාතෘකාවක් වී තිබෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. එකී ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ පාසල් දරුවන්ගේ විභාග පීඩනය නැති කිරීම බව ආණ්ඩුවේ අධ්‍යාපනඥයන්ගේ අදහසය. හෝමාගම පාසල් සිසුවිය සියදිවි හානි කර ගන්නේ වාර විභාගයට ලකුණු ප්‍රමාණවත්ව ලබා ගත්තේ නැතැයි පන්ති භාර ගුරුවරිය චෝදනා කිරීම නිසාය. ඇය චෝදනා කර තිබෙන්නේ පන්තියේ අනෙක් සිසුන් ඉදිරිපිටය. එසේ චෝදනා කිරීම හේතුවෙන් අහිංසක සිසුවියට හිසේ රුදාවක්ද හැදී තිබේ. එයට ප්‍රතිකාර ගැනීමට යොමුවීම හේතුවෙන් ඇය දින කීපයක් පාසලට පැමිණ නැත. වෛද්‍ය වාර්තාවක් ගෙන එන්නැයි පන්ති භාර ගුරුවරිය ඇයට සඳහන් කර තිබේ. එහෙත් එය ගෙන ඒමට නොහැකි වීම හේතුවෙන් ගුරුවරිය සිසුවියට චෝදනා කර තිබේ. ඉන් නොනැවතුණු පන්ති භාර ගුරුවරිය එම සිසුවිය පාසලේ විනය භාර ස්වාමීන් වහන්සේ වෙත යොමු කර තිබෙන අතර ඒ හිමිනම විනය නැංවීම සඳහා සිසුවියට දඬුවමක් නියම කර ඇත.
මෙකී නොකී සියල්ල අවසානයේ ඇය සියදිවි නසා ගත්තාය. ජීවිතය පිළිබඳ බලාපොරොත්තු ගොන්නක් තිබෙන දරුවෙක් අවසානයේදී මරණය තෝරාගැනීම කෙතරම් නම් බරපතළ තීරණයක්ද? ජීවිතය පිළිබඳ දරුවකුට තිබෙන්නේ කෙතරම් නම් සුන්දර අපේක්ෂාවන්ද? එහෙත් වර්තමාන අධ්‍යාපන ක්‍රමය මගින් ඒ සියලු සොඳුරු අපේක්ෂාවන් බිඳ දමා තිබේ. මෙම අධ්‍යාපන ක්‍රමය මගින් කරනුයේ දරුවාගේ ළමා බව මරා දමා ඔහු අමු අමුවෙන් වැඩිහිටියකු කිරීමය. ඒ තරම් බරපතළ අපරාධයක් මිහිපිට තවත් තිබිය හැකිද? එහෙත් ඒ අපරාධය අධ්‍යාපනය නමින් කාලාන්තරයක් තිස්සේ මේ රටේ සිදුකරමින් තිබේ. එය දරුවන්ට ජීවිතය අහිමි කරමින් ඇත. ඔවුන්ගේ ලෝකයෙන් සුරංගනාවන්, සමනලයන් ඈත් කරමින් ඇත. ඔවුන්ගේ ළමා සිහින ලෝකයම බිඳ දමා ඇත. අධ්‍යාපනය නමින් සිදු කරනුයේ මේ ටිකය.
හෝමාගම සිසුවිය සියදිවි නසාගත් පළමු පාසල් සිසුවිය හෝ සිසුවා නොවීය. මෙයට පෙර විභාග පීඩනය හේතුවෙන්ම සිසු සිසුවියෝ රැසක් සියදිවි නසාගත්හ. පාසල් මතු නොව සරසවි සිසු සිසුවියෝද සියදිවි නසාගත්හ. එහෙත් ඒවා පිළිබඳව යම් හාහූවක් ඇති වූවා විනා දරුවන්ට මරු කැඳවන අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ ගැඹුරු සංවාදයක් හෝ වැඩපිළිවෙළක් ගොඩනැගුණේ නැත. මෙරට ක්‍රියාත්මක වන ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම සඳහා යම් යම් ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කළද ඒවා එතරම් ඵලදායක වුණේ නැත. තවම මේ රටේ තිබෙන්නේ ගුරුවරයාගේ ආධිපත්‍යය මත රඳා පවතින අධ්‍යාපන ක්‍රමයකි. ඒ අධ්‍යාපන ක්‍රමය අනුව සිසුවන් යනු මැටි ගොඩක් පමණි. ගුරුවරුන් කරන්නේ ඒ මැටි අනා තමන්ට ඕනෑ ආකාරයේ නිෂ්පාදනයක් කිරීමය. එහෙත් අවසානයේ කිසිදු නිෂ්පාදනයක් නොකර බොහෝ දරුවන් විනාශ කරන බව පමණක් තහවුරු වී තිබේ. ස්වභාවිකව විකසිත විය යුතු මල් පොහොට්ටු බලෙන් විකසිත කිරීම සඳහා තළා පොඩි කර දමා තිබේ. දරුවන්ගේ ජීවිත සමග මේ ආකාරයට ඕනෑම සෙල්ලමක් කළ හැකි අධ්‍යාපන ක්‍රමයක් ලෝකයේ තිබේ නම් අප දකින්නේ ඒ ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයක පමණක් බවය. කවර නිර්දේශ ඉදිරිපත් කළද මේ අධ්‍යාපන රාමුව වෙනස් කරන තෙක් පාසල, සරසවිය දරුවන්ගේ මළගමට හේතුවන තැනක් වීම වළක්වා ගත නොහැකිය.
ශිෂ්‍යත්ව විභාගය යනු එවැනි ආකාරයට දරුවන් තළා පොඩි කර දමන දඬු අඩුවකි. වර්තමාන ආණ්ඩුවේ ඇත්තන් පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම නතර කරන බව සඳහන් කළද එය නතර කිරීම කල් දමන බව දැන් සඳහන් කරයි. එයට හේතුව අන් කිසිවක් නොව රටේ දරුවන්ගේ යහපත දෙස බැලීමට පෙර තමන්ගේ දේශපාලන අනාගතය දෙස බැලීමය. යම්කිසි රටක් අනාගත පරපුරට නිදහසේ ස්වභාවිකව වැඩෙන්නට ඉඩ දෙන්නේ නැත්නම් ඒ රට අනාගත පරපුර නමින් බිහි කරන්නේ රෝගීන් හෝ අපරාධකාරයන් පිරිසක් පමණි. වරින් වර රට පාලනය කරන පාලකයන්ට මෙය නොවැටහීම කනගාටුවට කරුණකි. එය නොවැටහීමකට වඩා දේශපාලනය වෙනුවෙන් කරන මගහැරීමක් බව සඳහන් කළ යුතුය. හෝමාගම සිසුවියගේ මරණයෙන් ඇය ලබා දෙන්නේ පණිවුඩයකි. ඒ අන් කිසිවක් නොව, දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න ඉඩ ලබා දෙන්න යන්නය. ඒ පණිවුඩය නිසි පරිදි තේරුම් ගැනීමට මවුපියන්, ගුරුවරුන් සමත් විය යුතුය. ඒ අහිංසක දරුවාගේ මරණය හුදෙකලා සිදුවීමක් නොව, රටේ සමස්ත අධ්‍යාපන ක්‍රමය කඩා වැටීම ප්‍රකාශ කරන්නකි. දරුවකුගේ මනස කියවා ගැනීමට නොහැකි ගුරුවරුන් කුමට? සියදිවි හානි කර ගත් සිසුවිය ට පීඩනයක් එල්ල කළ හෝමාගම පාසලේ සියලු ගුරුවරුන්ට එරෙහිව ගත හැකි දැඩි පියවර ගත යුතුය. ඔවුන් කිසිසේත්ම ගුරු සේවයට සුදුසු නැත. ඔවුන් යෝග්‍ය වන්නේ වධකාගාරවලටය!