brand logo
logo
 කාවන්තිස්ස වෙනුවෙන් සැකකරුවන් ඇල්ලූ වනජීවි නිලධාරියා

කාවන්තිස්ස වෙනුවෙන් සැකකරුවන් ඇල්ලූ වනජීවි නිලධාරියා

19 October 2026


කාවන්තිස්ස ඇතුගේ මරණයට වගකිවයුත්තන්ට නීතියෙන් දඬුවම්දීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් වුවද කටයුතු කරන බව කුරුණෑගල වනසත්ව අඩවි ආරක්ෂක නීතිඥ චතුර ගුණරත්න මහතා ප්‍රකාශ කර තිබේ.


ඔහු මේ බව සඳහන් කළේ තිබුණේ, කාවන්තිස්ස ඇතුගේ මරණය සිදුවූ දිනයේය.


උපුටාගැනීම....


ඔබට සිදුකළ අපරාධයට වගකිව යුතු සියළු දෙනාට අනිවාර්‍යෙන්ම ඔවුන් කළ වරදට දඩුවම් දිය යුතුමය. කඳන් බඳින්නන්, ලයිසන් තුවක්කුකරුවන්, බෙහෙත් කොටන තුවක්කු කරුවන් හක්කපටස් කරුවන් සියළු දෙනා ඔබගේ නාමයෙන් අත්තඩංගුවට ගැනීමට කටයුතු කරමි.


ඔබ වෙනුවෙන් ඔබේ පරපුරට මේ භූමියේ ඔවුන්ගේ අයිතිවාසිකම තහවුරු කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරමි. එය තනිව කළ නොහැක්කකි. මාසයක් අඛන්ඩව STF නිලධාරීන් දස දෙනෙක් මාගේ කාර්‍යමණ්ඩලයේ නිලධාරීන් හා යෙදවුවහොත් ගල්ගමුව, මීගලෑව ප්‍රදේශයේ නැවත අලින්ට ඇතුන්ට වෙඩි තැබීමට එක් පුද්ගලයෙක් හෝ නොතබමි.


STF සහය මට මාගේ කීමට ලබාගත නොහැකියි. කහල්ල පල්ලෙකැලේ අභය භූමියේ ඉඩම් යළි අත්පත් කරගැනීමට යාමේදී එසේ මාගේ ඉල්ලීමට STF නිලධාරීන් දායක කරගත් අවස්ථාවේදි ඔවුන් ක්ෂණිකව දින දෙකක් ගතවීමට මත්තෙන් ආපසු කැඳවූ හැටි ඔබට මතක ඇති.


එබැවින් අද හෙට ඔබගේ අලි ඇත් පරපුරේ ආරක්ෂාව උදෙසා මට මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවත් කාවන්තිස්ස ඇත් රජුනි, ඔබ වෙනුවෙන් එකී කාර්‍ය මට හැකි මුල් අවස්ථාවේදීම සිදුකර ඔබේ පරපුරේ අනාගත පැවත්ම තහවුරු කරන බවට සපථ වෙමි.


උපුටාගැනීම අවසන්....


ඒ අනුව නීතිඥ වනසත්ව අඩවි ආරක්ෂක නීතිඥ චතුර ගුණරත්න මහතාට ලද නිශ්චිත තොරතුරකට අනුව බස්නාහිර පළාත් වනසත්ව අඩවි ආරක්ෂක වසන්ත ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් යුතු කණ්ඩායමක් ඊයේ (18) දිනයේ විශේෂ මෙහෙයුමක් දියත් කරන ලදී.


ඊට වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරින් කණ්ඩායමක්ද එක්විය.


ඒ අනුව වනජීවි නිලධාරින් සහ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සිදුකළ මෙම ඒකාබද්ධ මෙහෙයුමේදී කාවන්තිස්ස ඇතුට වෙඩිතැබීමට සැකපිට ඇහැටුවැව, හුනුගල්ලෑව ග්‍රාම නිලධාරී වසමේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.


ඉන් එක් සැකකරුවෙක් ඇහැටුවැව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කරන 56 හැවිරිදි පුද්ගලයෙකි.


ඔහු සන්තකයේ තිබී "බෝර 12" වර්ගයේ ගිනි අවියක්, "කැප් තුවක්කු" වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 24ක් පොලිස් භාරයට ගෙන තිබේ.


මෙම සැකකරු මීට මාස 04කට පමණ පෙර සිදුකළ වෙඩිතැබීමක් හේතුවෙන් ප්‍රදේශයේ සැරිසැරු ඩයනා නැමැති ඇතින්නක් මියගොස් ඇති බවටත්, ඉන් අනතුරුව මොහු විසින් කාවන්තිස්ස හස්තියාටද වෙඩි තබා ඇති බවටත් පොලිසිය සැකපළ කරයි.


අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (19) මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


කාවන්තිස්ස ඇතුගේ මරණය සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව, වලාන දූෂණ මර්දන ප්‍රහාරය ඒකකය සහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. 


 

More News..