‘මිෂන් ඔලිම්පික්’ එකතැන පල්වෙයි?
29 October 2026 | ඉන්ද්රජිත් සුබසිංහ
‘මිෂන් ඔලිම්පික්’ එකතැන පල්වෙයි?
29 October 2026 | ඉන්ද්රජිත් සුබසිංහ
ක්රීඩා අමාත්යාංශය යටතේ මෙහෙයවෙන ‘මිෂන් ඔලිම්පික්’ වැඩසටහනට අයත් ක්රීඩක ක්රීඩිකාවන්ගේ දක්ෂතා සහ ප්රතිඵල මාස 6කට වරක් ඇගයීමකට ලක්කර අදාළ පරිදි එම සංචිත යාවත්කාලීන කළ යුතු බව මෙය පිහිටුවීම සම්බන්ධයෙන් වූ කැබිනට් පත්රිකාවේ සඳහන් වෙන නමුත්, මෙකී ඇගයීමෙන් තොරව මේ වන විට මාස 3 ක අතිරේක කාලයක් සඳහා අදාළ ගෙවීම් කටයුතු සිදුකර තිබේ.
ක්රීඩාවෙන් ශ්රී ලංකාවට ජාත්යන්තර මට්ටමේ ඉහළම ජයග්රහණ අත්කරගැනීමේ අරමුණින් යුතුව පිහිටුවන ලද මෙම වැඩසටහන යටතේ 141 දෙනකු ප්රතිලාභ ලබන අතර අදාළ ඇගයීමේ කටයුත්ත නිසි ලෙස සිදුකළේ වී නම් ඉකුත් ජුනි මාසය අවසන් වන විට එම සංචිත යාවත්කාලීන කරමින්, අපේක්ෂිත දස්කම් වෙත ප්රවේශ නොවූ අය ඉන් ඉවත්කර අනෙකුත් සුදුස්සන් වේ නම් එම වැඩසටහනට ඇතුළත් කිරීමට නියමිතව තිබිණි.
නමුත් මෙම වැඩසටහනේ ආදළ වගකීම සමග භාරදූර කාර්යයක් පැවැරුණු ජාතික තේරීම් කමිටුව (එහි සහය සේවක හිඟය උග්රවීම නිසා) එකී කාර්යභාරයෙන් ඉවත්වීමත් සමගින් මෙම තත්ත්වය පැනනැගී තිබේ.
මෙම තත්ත්වය යටතේ ක්රීඩා ඇමැතිවරයාගේ විශේෂ අවසරයක් මත අදාළ ගෙවීම් අඛණ්ඩව කරගෙන ගොස් ඇති අතර, පරිපාලන ගැටලු, එකී සංචිතවල සිටින ක්රීඩකයන්ට අදාළ ප්රතිලාභ නොලැබීයෑමට හේතුවක් නොවිය යුතුය යන මතයේ සිටිමින් මෙම ගෙවීම් කටයුතු අඛණ්ඩව කරගෙන යන ලෙස ඇමැතිවරයා උපදෙස් දී ඇත.
නමුත් ජාතික තේරීම් කමිටුවට අවශ්ය සේවක සංඛ්යාව සැපයීම හෝ සුදුසුකම් සහිත වෙනත් පාර්ශ්වයකට මෙම වගකීම පැවරීමකින් තොරව හෙවත් අදාළ යාවත්කාලීන කිරීම සිදු නොකර මෙලෙස කල් මැරීම හේතුවෙන්, අපේක්ෂිත දක්ෂතා ප්රදර්ශනය කිරීමකින් තොරව මෙම වැඩසටහනේ ප්රතිලාභ ලැබීමට එක්තරා ක්රීඩක පිරිසකට අවස්ථාව සැලසෙන අතරවාරයේ අපේක්ෂිත දස්කම් ප්රදර්ශනය කරමින් සිටින ක්රීඩකයන්ට මෙම වැඩහටහනේ නිසි ප්රතිලාභ විඳීමට නොහැකිවන තත්ත්වයක්ද උද්ගතව ඇත.
මෙම වැඩසටහනේදී දක්ෂතා අනුව කාණ්ඩ 4ක් යටතේ (පෝෂණ දීමනාද සමගින්) මසකට රුපියල් 95,000 සිට රුපියල් 210,000 දක්වා මුදලක් ඒ ඒ ක්රීඩකයාට හිමිවන අතර අදාළ කාණ්ඩායමට සාපේක්ෂව එම ක්රීඩක ක්රීඩිකාවන්ගේ පුහුණුකරුවන් වෙතද මාසිකව දීමනා හිමිවේ.
එසේ නමුත් ඉකුත් ආසියානු ක්රීඩා උළෙල සහ පොදුරාජ්ය මණ්ඩල ක්රීඩා උළෙල ආදිය සැලකූ විට මෙම වියදමට සාධාරණයක් වන ප්රතිඵලයක් රටට ලැබෙමින් පවතින්නේද යන්නත් විවාදිතය.

