නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්
04 October 2026
නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්
04 October 2026
නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) අරලියග මන්දිර පරිශ්‍රයේදී සිදු කෙරුණි.
වසර එකහමාරක සාර්ථක හා විධිමත් පුහුණුව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පත්වීම් ලැබූ මෙම නිලධාරිනියන්, දිවයින පුරා පළාත් සභා සහ රේඛීය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කෙරෙනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය සේවාවේ පරිවර්තනීය කාල වකවානුවක මෙම පත්වීම්ලාභි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සෞඛ්‍ය සේවාවට එක්වන බවය.
වත්මන් සෞඛ්‍ය සේවාව ගමන් කරන දිශානතිය නිවැරදිව දැන සිටීම මගින් ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීමේදී එය වඩා පහසුවක් වනවා මෙන්ම එම ගමන් මගට බාධාවන් විය හැකි විවිධ වෘත්තීන් අතර වන හැලහැප්පීම් අවම කර ගැනීමටද පහසුවක් වනු ඇති බව ද අමාත්‍යවරයා කීය.
පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් උදෙසා මෙරට සියලු ජනතාවට නිරෝගිමත්, සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට "පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්" වැඩපිළිවෙළ තුළ රජය සියලු අංශ මෙහෙයවන බවද මෙතුවක් කල් එම ඉළක්කය සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ කරුණු කාරණා සොයා බලා ඊට පිළියම් යොදන බවද පැවසීය.
පිළිසිඳ ගැනීමේ සිට වියපත් වන තෙක් මුළු ජීවන චක්‍රයටම පුද්ගල කේන්ද්‍රිය මැදිහත්වීමකින් යුත් සෞඛ්‍ය සේවාවෙන් අවශ්‍ය වන බවත් එම අරමුණු සහතික කර ගැනීම සඳහා කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
පසුගිය මාර්තු මස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 976ක් බඳවා ගත් බවත්, තවත් 39කට පත්වීම් ලබාදිය යුතුව ඇති බවත්, ඒ අනුව මෙම වසර 02 තුළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 2071 ක් බඳවා ගැනීමටත් උසස්වීම්, දීමනා සහ පුහුණු ලබාදීමට කටයුතු කර ඇති බව ද නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.
ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීම උදෙසා අවශ්‍ය පහසුකම් ලබාදෙමින් පවුල් සෞඛ්‍ය සේවිකාවන් 2900කට පමණ දෙසැම්බර් මස වනවිට ස්කූටි වර්ගයේ යතුරුපැදි ලබාදීමට නියමිතව තිබේ.
වසර කිහිපයක් තුළ ක්ෂේත්‍රයේ කටයුතු කරන සියලු දෙනාටම ස්කූටි වර්ගයේ යතුරු පැදී ලබාදීම රජයේ පරමාර්ථය බව ද පැවසු අමාත්‍යවරයා, රාජ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරීමේ බඳවා ගැනීම් සිදු කිරීමේදී වැඩිම පිරිසක් බඳවාගෙන ඇත්තේ සෞඛ්‍ය සේවාව සඳහා වන බවද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

