brand logo
logo
පරිභෝජනයට නුසුදුසු ආහාර නිදහස් කරන්න ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලයේ ඇතැම් වෛද්‍යවරු අපට බලපෑම් කරනවා

පරිභෝජනයට නුසුදුසු ආහාර නිදහස් කරන්න ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලයේ ඇතැම් වෛද්‍යවරු අපට බලපෑම් කරනවා

26 August 2026


කටුනායක ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීම අනුමත කළ නොහැකි බව කියමින්, දිවයින පුරා සියලු සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පසුගිය 21 වැනිදා වැඩ වර්ජනයක නිරත වූහ. එමෙන්ම ඔවුහු දිවයින පුරා සියලුම ඩෙංගු මර්දන රාජකාරී කටයුතුවලින්ද ඉවත් වූහ. රටපුරා ඩෙංගු අධි වසංගත තත්ත්වයක් පවා නිර්මාණය වී තිබියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඩෙංගු මර්දන රාජකාරී කටයුතුවලින් ඉවත්වීම සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ සමග ‘අරුණ’ කළ සාකච්ඡාවකි මේ.


පසුගිය දිනයක සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දිවයින පුරා ක්‍රියාත්මක වූ සියලුම ඩෙංගු මර්දන රාජකාරී කටයුතුවලින් ඉවත් වුණා. මොකක්ද ඒකට හේතුව?


ගුවන් තොටුපොළේ සෞඛ්‍ය කාර්යාලයේ සේවය කළ ජ්‍යෙෂ්ඨතම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට හිටි හැටියේම ස්ථාන මාරුවක් දීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් කටයුතු කරලා තියෙනවා. ඊට විරෝධය පළකරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සියලුම දෙනා පසුගිය 20 වැනිදා ඩෙංගු මර්දන කටයුතුවලින් ඉවත් වුණා. ඒ වගේම 21 වැනිදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සංකේත වැඩවර්ජනයකත් නිරත වුණා.


ඔබ ඔය කියන විදිහට හිටි හැටියේම ගුවන් තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාව ස්ථානමාරුවක් ලැබෙන්න හේතුව මොකක්ද?


ගුවන් තොටුපොළ සෞඛ්‍ය කාර්යාලය තුළ සැලකිය යුතු කාලයක සිට අක්‍රමිකතා හා වංචා විශාල වශයෙන් වෙනවා. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට, විගණන දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම හා ගුවන් තොටුපොළ සෞඛ්‍ය කාර්යාලය තුළ වංචා දූෂණ වන බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරීම නිසයි ගුවන් තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාව හිටි හැටියේම ස්ථාන මාරුවක් ලැබුණේ. ඇත්තටම වංචා දූෂණ සඳහා මූලික වූ පිරිස් එකතු වෙලා තමයි මේ නිලධාරීයාට ස්ථාන මාරුවක් ලැබෙන විදිහට කටයුතු කරලා තියෙන්නේ.


ගුවන් තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයේ අදාළ බලධාරීන් සමග සාකච්ඡා කළේ නැද්ද?


ඒ සඳහා අපි උත්සාහ කළා. නමුත් එයින් ප්‍රයෝජනයක් වුණේ නැහැ. ඒ නිසා සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම ස්ථාන මාරුවට විරෝධය පළ කරලා 20 වැනිදා ඩෙංගු මර්දන කටයුතුවලින් ඉවත් වුණා. ඊට පසුදින එනම් 21 වැනිදා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා. ඒ වගේම මේ වනවිට දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පරිපාලනයට ලබාදිය යුතු දත්ත සහ වාර්තා ලබාදීම අත්හිටුවීමේ ක්‍රියාමාර්ගයකටත් යොමුව සිටිනවා. මොකද කිසිම චෝදනාවක් ගොනුකර නොමැතිව සේවා අවශ්‍යතාවක් බව පවසමින් තමයි ගුවන් තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ස්ථාන මාරුව දීලා තියෙන්නේ. එහෙම සේවා අවශ්‍යතාවක් ලෙස සලකලා ස්ථාන මාරු දෙන්න හැකියාවක් නැහැ. ස්ථාන මාරු දීම සඳහා නිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට පරිබාහිරව කටයුතු කිරීම අනුමත කරන්න බැහැ.


ගුවන් තොටුපොළ සෞඛ්‍ය කාර්යාලය තුළ වංචා දූෂණ විශාල ප්‍රමාණයක් වෙනවා කියලා ඔබ ඉහතින් සඳහන් කළා. ඒ මොනවාද?


සෞඛ්‍ය කාර්යාලයට අනුයුක්ත කර තිබෙන වෛද්‍යවරු නියමිත පරිදි රාජකාරිය සඳහා වාර්තා නොකරමින් අතිකාල ගැනීම, ආහාර පනත යටතේ අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා එම කාර්යාලය තුළ රඳවා තිබෙන ආහාර ද්‍රව්‍ය අස්ථානගත වීම, ගුවන්යානා තුළ ධූමායනය කිරීමෙන් පසුව හිස්වන ඇළුමිනියම් භාජන (කෑන්) අස්ථානගත වීම, ආහාර පනතේ ප්‍රතිපාදනවලට විරුද්ධව කටයුතු කිරීම ඇතුළු අක්‍රමිකතා රැසක්ම වෙනවා කියලා ගුවන් තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ සේවය කරන අපේ සාමාජිකයන් අපේ සංගමයට දන්වලා තියෙනවා.


ආහාර පනත යටතේ අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා කාර්යාලය තුළ රඳවා තිබෙන ආහාර ද්‍රව්‍ය අතුරුදන් වෙනවා කියලා ඔබ කිව්වනේ. ඇත්තටම මේ ආහාර ද්‍රව්‍යවලට මොකද වෙන්නේ?


ගුවන් තොටුපොළේ ආහාර අලෙවිසල්වල අලෙවි කරන ආහාර ද්‍රව්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නිරන්තරයෙන් පරීක්ෂා කරනවා. ඒ වගේම රේගුව මගින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ආහාර ද්‍රව්‍ය අතරත් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග තිබුණොත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඒවා අත්අඩංගුවට ගන්නවා. එම ආහාර ද්‍රව්‍ය රඳවා තබා ගැනීමට විශේෂ ස්ථානයක් නැහැ. ඒ තබන්නේ සෞඛ්‍ය කාර්යාලය තුළමයි. ඒ විදිහට සෞඛ්‍ය කාර්යාලය තුළ රඳවා තබා තිබෙන ඇතැම් ආහාර ද්‍රව්‍යවලට වෙන දෙයක් නැහැ. එපමණක් නොවෙයි, නීතිමය කටයුතුවලින් පසුව විනාශ කිරීම සඳහා රැගෙන යන අතරත් ඇතැම් ආහාර ද්‍රව්‍ය අතුරුදන් වීම් සැලකිය යුතු අන්දමින් වන බවට අපට තොරතුරු වාර්තා වෙලා තියෙනවා.


නීතිමය කටයුතුවලින් පසුව ආහාර විනාශ කරන්න රැගෙන යන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ නේද? මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිටියදීත් ඔබ ඔය කියන විදිහට ආහාර ද්‍රව්‍ය අතුරුදන් වෙන්නේ කොහොමද?


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් හෝ දෙන්නෙක් සමග සෞඛ්‍ය කණිෂ්ඨ සේවකයන් කිහිපදෙනකුත් ආහාර විනාශ කිරීම සඳහා රැගෙන යාමට සහභාගි වෙනවා. අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව විනාශ කිරීමට රැගෙන යන ආහාර ද්‍රව්‍ය වාහනයට පැටවීම සහ ප්‍රවාහනය අතරතුරයි අස්ථානගතවීම් වෙන්නේ. මෙම සිදුවීම්වලට සෞඛ්‍ය කණිෂ්ඨ සේවකයන්ගේ සෘජු මැදිහත්වීමක් තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා.


ඔබ ඔය කියන විදිහට ආහාර සහ අනෙකුත් භාණ්ඩ අතුරුදන් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කරන්නේ නැත්තේ ඇයි?


සෞඛ්‍ය අමාත්‍යංශයට වගේම සෞඛ්‍ය අමාත්‍යංශයේ නිරෝධායන අධ්‍යක්ෂවරයාටත් අපි මේ සම්බන්ධයෙන් පැමිණිලි කළා. නමුත් ඔවුන් කිසිම පියවරක් ගත්තේ නැහැ. ගුවන් තොටුපොළ සෞඛ්‍ය කාර්යාලය භාරව සිටින ප්‍රධාන වෛද්‍යවරයාටත් අපේ සාමාජිකයන් වාචිකව මෙන්ම ලිඛිතවත් මේ ගැන පැමිණිලි කළා. ඒත් ප්‍රයෝජනයක් වුණේ නැහැ. සෞඛ්‍ය කාර්යාලයේ මාසික රැස්වීම පැවැත්වූ දිනයක මේ ආහාර අතුරුදන්වීම පිළිබඳව අපේ සහෝදර නිලධාරියෙක් තොරතුරු ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේ සෞඛ්‍ය කාර්ය සහයකවරයෙක් සියලු දෙනාම ඉදිරියේ ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට තර්ජනය කරලා තිබුණා. අඩුම තරමින් ඒ සඳහාවත් මේ දක්වා කිසිදු විමර්ශනයක් කරලා නැහැ.


යම් පිරිසක් ආහාර පනතේ ප්‍රතිපාදනවලට පටහැනිව කටයුතු කරන බව ඔබ කිව්වා. කවුද එහෙම කරන්නේ?


මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් අත්අඩංගුවට ගන්නවනේ. එලෙස අත්අඩංගුවට ගත් ආහාර ද්‍රව්‍ය නැවැත නිදහස් කරන්න කියලා සෞඛ්‍ය කාර්යාලයේ ඇතැම් වෛද්‍යවරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලපෑම් කරන බවට අපට තොරතුරු වාර්තා වෙනවා. ඒ විතරක් නොවෙයි, ඇතැම් අත්අඩංගුවට ගැනීම් පවා නතර කරනවා වගේම පනතෙන් බැහැරව වැරදි පරිපාලන තීරණ ගන්නා බවටත් අපේ නිලධාරීන් අපට කියලා තියෙනවා. වැරදි පරිපාලන තීන්දු ගන්න එපා කියලා අවස්ථා කිහිපයකදීම අපේ නිලධාරීන් ප්‍රධාන වෛද්‍ය නිලධාරීයාට කියලා තියෙනවා. නමුත් ඔහු ඒවා පිළිපදින්නේ නැහැ. අවසානයේ ඔහුගේ නියෝග අපේ නිලධාරීන් පිළිගන්නේ නැහැ කියලා අමාත්‍යාංශයට පැමිණිල්ලකුත් කරලා තිබුණා.


වෛද්‍යවරුන්ට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ගුවන් තොටුපොළ තුළ පැවරී තිබෙන කාර්ය භාර්යය ගැනත් මතක් කිරීමක් කරමු?


අප වෛද්‍යවරුන්ගේ රාජකාරී ලැයිස්තුව හරියටම දන්නේ නැහැ. නමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම, විදේශයන්ගේ සිට මෙරටට පැමිණෙන මෘතදේහ පරීක්ෂා කර ඒවා නීත්‍යානුකූලව භාරගැනීම, ගෝලීය වශයෙන් වසංගත රෝගයක් ව්‍යාප්ත වන විට ඒ පිළිබඳව අවධානයෙන් සිට ගුවන්තොටුපොළ හරහා පැමිණෙන මගීන්ව පරික්ෂාවට ලක්කිරීම, කාර්යය මණ්ඩල සාමාජිකයන්ගේ පැමිණීමේ හා පිටවීමේ අත්සන් ලේඛන පරීක්ෂා කිරීම ආදිය ඔවුන් සාමාන්‍යයෙන් කරන රාජකාරී හැටියට හඳුන්වා දෙන්න පුළුවන්.


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ කාර්ය භාරය වන්නේ ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පවත්වාගෙන යන ආහාර අලෙවිසල් ආහාර පනතේ ප්‍රතිපාදනවලට අනුව පරීක්ෂා කිරීම, අත්අඩංගුවට ගත් ආහාර ද්‍රව්‍ය පනත ප්‍රකාරව නීත්‍යානුකූලව විනාශ කිරීම, ගෝලීය වසංගතයක් පැතිර යන විට මෙරටට පැමිණෙන සැක කටයුතු පුද්ගලයන්ගේ නිශ්කාෂණ කටයුතු සහ බෝවන රෝග රට තුළට පැමිණීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, අවශ්‍ය අවස්ථාවලදී සාම්පල පරීක්ෂා කිරීම, මෙරටට පැමිණි ගුවන්යානයක් එහි මගීන් ඉවත් වූ පසුව නැවත පිටත්ව යාමට පෙර එහි ඇතුළත විෂබීජ හරණය සහ ධූමායනය කිරීම ආදියයි.


කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පැමිණීමේ හා පිටවීමේ අත්සන් ලේඛන පරීක්ෂා කිරීමේ අයිතිය වෛද්‍යවරුන්ට තිබෙනවා කියලා ඔබ කිව්වා. ඒ අනුව කණිෂ්ඨ සේවකයන් අස්ථානගත කරනවා යැයි කියන භාණ්ඩ සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට පැමිණිලි කරන්න හැකියාවක් නැද්ද?


අපේ නිලධාරීන් මේ සම්බන්ධව පැමිණිලි කළා. මම මුලිනුත් කිව්ව ආකාරයේ තර්ජනයක් එන්නේ ඒ පැමිණිලි කිරීමෙන් පසුව තමයි. කණිෂ්ඨ සේවකයන් අධීක්ෂණය කිරීමේ වගකීම පැවරී තිබෙන්නේ ආයතනයේ ප්‍රධාන වෛද්‍යවරයාටයි. මොවුන් කරන සෑම දෙයක් සම්බන්ධයෙන්ම වෛද්‍යවරයා සහ කළමනාකාර සහකාරවරයා දැනුම්වත් විය යුතුයි. කොටින්ම කියනවා නම් ඔවුන් සියලු දෙනාම කරන අයථා ක්‍රියාවලට ඔවුනොවුන් ආරක්ෂාව සපයා ගැනීමක් වන බවයි අපට ලැබෙන තොරතුරු අනුව පැහැදිලි වෙන්නේ.


සියලු දෙනාම කරන අයථා හා ක්‍රියාවලට ඔවුනොවුන් ආරක්‍ෂාව සපයාගන්නවා කියන කතාවේ තේරුම මොකක්ද?


වෛද්‍යවරුන් පමණක් නොවෙයි, ගුවන් තොටුපොළ සෞඛ්‍ය කාර්යාලය තුළ සේවය කරන කණිෂ්ඨ කාර්ය මණ්ඩලය, කළමනාකාර සහකාර යන අය පවා විශාල වශයෙන් යම් යම් දූෂණවලට සම්බන්ධ බවට අපේ සාමාජිකයන් අපිට තොරතුරු ලබාදී තිබෙනවා. ප්‍රධාන වශයෙන් අතිකාල වංචා බහුලව වෙනවා. අත්සන් පොතේ වෙලාව වෙනස් කිරීම් නිතරම වන බවටත් තොරතුරු තිබෙනවා. මේ තොරතුරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැගත් පසුව අත්සන් පොත ප්‍රධාන වෛද්‍යවරයා සතුව තබා ගැනීමට කටයුතු කර තිබෙනවා.


අනෙක ගුවන් තොටුපොළ සෞඛ්‍ය කාර්යාලය තුළ රාජකාරී කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට වසර 40 පමණ කාලයක සිට සිට නිල නිවාස තුනක් තිබෙනවා. ඉන් එක් නිල නිවසක් වසර ගණනාවක සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පරිහරණයට දෙන්නේ නැහැ. ඒ නිල නිවස පොදු නිල නිවසක් ලෙස තබාගෙන ඉන්නවා. නමුත් මේ දක්වා වසර ගණනාවක් කිසිම කෙනෙක් මේ නිල නිවසේ පදිංචි වෙලා නැහැ. ඒ නිසා මෙම නිල නිවාසය සඳහා අය විය යුතු නිවාස කුලිය වසර ගණනාවකින් අයකරගෙන නැහැ. මෙය රජයට අයවිය යුතු මුදලක් හිතාමතාම පැහැර හැරීමක්. නිල නිවාසයත් විනාශයට යමින් තිබෙනවා.


අපි මේ සම්බන්ධයෙන් විගණන කාර්යාලයට දැනුම් දී තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් මෑතකදීම පරීක්ෂණයක් පවත්වයි කියලා අපිට හිතෙනවා.


මෑතකදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා කිසිවකුටත් නොදන්වා එක්වරම ගුවන් තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයට පැමිණියා කියන කතාව ඇත්තද?


ඔව්. සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා හදිසියේම දවසක් සෞඛ්‍ය කාර්යාලයට ඇවිත් තිබුණා. ඒත් එහෙම එන්න හේතුව මොකක්ද කියලා අපි දන්නේ නැහැ. කොහොම නමුත් ඇමැතිවරයා පැමිණිලා තියෙන්නේ උදෑසන කාලයේයි. ඔහු ඒ විදිහට සෞඛ්‍ය කාර්යාලයට එන විටත් කාර්යාලය තුළ රැඳී සිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පමණයි. ධූමායනය කළ හිස් ඇළුමීනියම් කෑන් කාර්යාල තුළ ගොඩගසා තිබීම ඇමැතිවරයාගේ අවධානයට යොමුව තිබුණා. ඒ හිස් ඇළුමීනියම් කෑන් ගුවන් තොටුපොළ කළමනාකාරීත්වයට භාරදෙන්න කියලයි ඇමැතිවරයා උපදෙස් දීලා තියෙන්නේ. මේ සිදුවීමේදීත් ඇමැතිවරයාට තොරතුරු දුන්නේ අපේ නිලධාරීන් බවට සැක කරමින් ප්‍රධාන වෛද්‍යවරයා අපේ නිලධාරීන්ට සෑහෙන්න දෝෂාරෝපණය කරලා තිබුණා. කොහොම වුණත් සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයාගේ උපදෙස්වත් පිළිගන්නෙ නැතිව අදටත් ඒ හිස් ඇළුමීනියම් කෑන් හොර පාරෙන් පිටතට අලෙවි කිරීම් දිගටම වෙනවා.

 

More News..