පළාත් පාලනයට සම්බන්ධ පනත් රැසක් සංශෝධනය කරයි
06 September 2026
පළාත් පාලනයට සම්බන්ධ පනත් රැසක් සංශෝධනය කරයි
06 September 2026
මහ නගර සභා, නගර සභා ආඥා පනත් හා ප්‍රාදේශීය සභා පනත යන ප්‍රධාන පනත් තුනෙහි සංශෝධන කටයුතු අවසන් අදියරේ පවතින බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි.
එමෙන්ම තවත් පනත් 07ක් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැති ලැබී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.
ඒ අනුව යල්පැන ගිය කරුණු සහිත පළාත් පාලනය හා සම්බන්ධ පනත් වර්තමානයට ගැළපෙන අයුරින් සංශෝධනය කිරීම ආරම්භ කර ඇත.
නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා මෙම කරුණු සඳහන් කළේ, පළාත් පාලන ආයතනවල නිලධාරින් සඳහා මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැති වැඩසටහනකට එක්වෙමිනි.
වර්තමානයේ පළාත් පාලන ආයතන ජනතාවට සමීපතම රාජ්‍ය පාලන මට්ටම ලෙස විවිධ මහජන සේවා හා සංවර්ධන කටයුතු ඉටු කරයි.
එම කාර්යයන් සාර්ථකව ඉටු කිරීමේදී සභා පරිපාලනය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ නීතිමය කරුණු සම්බන්ධයෙන් විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදුවේ.
එබැවින් එම ගැටලු හඳුනාගෙන, නීත්‍යානුකූල හා ප්‍රායෝගික විසඳුම් සොයා ගැනීම සඳහා ආයතන ප්‍රධානීන් හා නිලධාරීන්ගේ දැනුම, කුසලතා සහ වෘත්තීය හැකියාවන් වර්ධනය කිරීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වේ.
මෙම වැඩමුළුවේදී සභා රැස්වීම් හා තීරණ ගැනීමේ ක්‍රියාවලිය, සභා තීරණ ක්‍රියාත්මක කිරීම, කාරක සභා කටයුතු, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මූලධර්ම හා ක්‍රියාපටිපාටි, පළාත් පාලන ආයතනවල බලතල හා වගකීම් මෙන්ම නීති හා රෙගුලාසි ප්‍රායෝගිකව යොදා ගැනීම පිළිබඳ අවබෝධය ලබාදීමට අපේක්ෂා කෙරේ.
තවද, පළාත් පාලන ආයතනවල දෛනික කටයුතු පවත්වාගෙන යාමේදී මතුවන වත්මන් පරිපාලන, නීතිමය හා ප්‍රායෝගික ගැටලු පිළිබඳ විවෘත සාකච්ඡාවක් සහ අත්දැකීම් හුවමාරුවක් සඳහා ද මෙම වැඩමුළුව තුළ අවස්ථාව සැලසේ.
ඒ හරහා ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් අතර අන්තර් සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් මහජන සේවා සැපයීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
ඒ අනුව පළාත් පාලන ආයතනවල කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් හා නීත්‍යානුකූල පරිපාලනයක් සහතික කිරීමේ අරමුණින් පළාත් පාලන ආයතන පවත්වාගෙන යාමේදී වර්තමානයේ උද්ගතවී ඇති ගැටලු හා ඊට විසඳුම් සෙවීමේ දැඩි අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමුකරමින් පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ආදර්ශ සභා ඇතුළු ප්‍රායෝගික ක්‍රියාකාරකම්, සාකච්ඡා, දේශන ආදී විවිධ අංග සහිත විශේෂ වැඩසටහන් මාලාවක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් සංවිධාන කර ඇත.

