කථානායක කොහොමද පුද්ගලික ලේකම්ට නිල නිවසක් ගන්නේ - දයාසිරි ජයසේකර
20 September 2026 | නිරෝෂා වාසල
කථානායක කොහොමද පුද්ගලික ලේකම්ට නිල නිවසක් ගන්නේ - දයාසිරි ජයසේකර
20 September 2026 | නිරෝෂා වාසල
වර්තමාන කථානායකවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් මේ වන විට විමර්ශනයක් ක්‍රියාත්මක කරමින් සිටින නිසා, කථානායකවරයා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි, නීතිඥ දයාසිරි ජයසේකර කියයි.
ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කිරීමට උත්සාහ කළ අවස්ථාවේ කථානායකවරයා එය යටපත් කරමින් තමන්ගේ භාෂණයේ නිදහස සහ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කළ බවද මන්ත්‍රි දයාසිරි ජයසේකර කියන්නේය. මේ, ඒ කාරණා ගැන ඔහු "සති අග අරුණ" ට කියූ කතාවයි.
ඔබ පාර්ලිමේන්තුවේදී කියනවා වර්තමාන කථානායකවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි කියලා. ඊට හේතුව කුමක්ද...
දැනට වැඩ තහනමකට ලක්වී සිටින පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහත්තයා කථානායකවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරලා තියෙනවා. කථානායකවරයාගේ නිල නිවස, සේවකයන්, වැටුප් විස්තර සහ වාහන පරිහරණය සම්බන්ධයෙන් වූ බව කියන මූල්‍ය අවභාවිතයන් සහ දූෂණ සම්බන්ධයෙන් තමයි ඒ පැමිණිල්ල කරලා තියෙන්නේ. ඒ අනුව BC/0356/20/26 B 206 ගොනු අංකය යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් මේ වන විට ඒ පිළිබඳ විමර්ශනයක් කරමින් ඉන්නවා. තමන්ට එරෙහිව විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන පසුබිමක කථානායකවරයා කළ යුත්තේ වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්වීමයි. එහෙම නොකර තවමත් කථානායකවරයාත් ඒ ධුරයේම ඉන්නවනම් ඒක නීති විරෝධීයි කියලයි මම කියන්නේ.
ඔය කියන නීත්‍යනුකූල තත්ත්වය මොකක්ද?
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනතේ 162 වගන්තියට අනුව කථානායකවරයාත් රාජ්‍ය සේවකයා යන්නට අයත්. ඒ වගේම පනතේ 3, 4 වගන්ති යටතේ මේ බලතල ක්‍රියාත්මක කිරීමේදී, නීතිය යටතේ හිමිකම් ලැබූ අධිකරණයක් හෝ විනිශ්චය අධිකරණයක් හැර වෙනත් කිසිම කෙනෙකුට අල්ලස් හෝ දූෂණ පනත යටතේ වන ක්‍රියාවලියට මැදිහත් වෙන්න බෑ. වැදගත්ම කාරණය තමයි 107 වන වගන්තිය. රජයේ සේවකයෙක් හෝ පොදු අධිකාරියක් විසින් ගනු ලබන තීරණයක් සම්බන්ධයෙන් තමාට සෘජුව හෝ වක්‍රව බලපෑමක් ඇති අවස්ථාවකදී, ඒ රජයේ සේවකයා විසින් ඒ තීරණයට අදාළ පොදු අධිකාරියේ යම් කටයුත්තකදී ඡන්දය දීම හෝ කටයුත්ත සඳහා සහභාගී වීම නොකළ යුතුයි.
අනෙක විමර්ශනයට භාජනය වන තැනැත්තා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හා සම්බන්ධ කිසිදු කටයුත්තකට මැදිහත් වෙන්න බැහැ කියලා 107 (2) වගන්තියේ පැහැදිලිව තියෙනවා. 107 (3) වගන්තිය අනුව එවැන්නක් කළොත් රුපියල් මිලියනයකට නොවැඩි දඩයකට හෝ වසර 7ක් නොඉක්මවන කාලයකට බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කිරීමකට එම පුද්ගලයා යටත් වෙනවා.
එපමණකුත් නොවෙයි. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන යම්කිසි කාරණයක් සම්බන්ධයෙන් අවසන් අත්සන යොදන්නේ කථානායකවරයා යි. දූෂණ විරෝධී පනතේ 31 (1) වගන්තිය යටතේ දූෂණ විරෝධී කොමිෂන් සභාව ඔවුන්ගේ වාර්ෂික අයවැය සකස් කරනවා. ඒ වාර්ෂික අයවැය ඉදිරිපත් කළ යුත්තේ කථානායකවරයායි. ඒ අනුව ඔහු පසුගිය 8 වනදා එය ඉදිරිපත් කළා. තමන්ට එරෙහිව චෝදනාවක් තිබෙන, විමර්ශනයක් කෙරෙමින් පවතින පුද්ගලයෙක් වාර්ෂික අයවැය ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. මේකට පරීක්ෂණයක් කළොත් ලක්ෂ දහයක දඩයක් හෝ අවුරුදු හතක සිරදඬුවමක් විඳින්න වෙනවා. ඒ සියල්ල තිබියදී තමයි කථානායකවරයා අයවැය ඉදිරිපත් කළේ. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ ව්‍යවස්ථාව අනුව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අනෙක් සාමාජිකයන් පත්කිරීමට ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කරන්නේ කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවයි. තමන්ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙනකොට ඒ කොමිෂන් සභාවේ සාමාජිකයන් පත්කිරීමට කථානායකවරයා සම්බන්ධ වෙනවා නම් ඒකත් සම්පූර්ණයෙන් වැරදියි. ඒක බැඳියාවන් පිළිබඳ ගැටුමක්. අනෙක දැන් මේ තියෙන තත්ත්වයත් එක්ක කථානායකවරයා සංශෝධිත අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා පනතට අත්සන් කරන්නේ කොහොමද?
මොකක්ද ඒ කතාව?
දැනට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව පිළිබඳ අලුත් සංශෝධන පනතක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී විවාද කළාට පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන වගන්තිය අනුව ඊට අවසන් අත්සන තැබිය යුත්තේත් කථානායකවරයායි. ලබන සතියේ පාර්ලිමේන්තුවට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය එන්න ඉඩ තියෙනවා. ආවොත් ඒකට විවාදයක් යනවා. ඉන් පසුව එයට කථානායකවරයා අත්සන් කළ යුතුයි. නියෝජ්‍ය කථානායකට ඒක අත්සන් කරන්න බැහැ. දැන් තියෙන තත්ත්වයත් එක්ක කථානායකවරයාට සභාවේ වාඩිවෙන්නත් බෑ. අත්සන් කරන්නත් බෑ. ඒ පිළිබඳ තැකීමක් නොකර කථානායකවරයා කටයුතු කළොත් මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම නීති විරෝධී තැනකට තල්ලු වෙනවා. ඒ නිසා කථානායකවරයා ඉල්ලා අස්විය යුතුයි කියලයි මම කියන්නේ. ඒ හැර ඔහුට වෙන විකල්පයක් නෑ.
කථානායකවරයා තවමත් නීතියෙන් වරදකරුවෙක් වෙලා නැහැනේ?
ඔව්. කථානායකවරයාට එරෙහිව තිබෙන චෝදනා සම්බන්ධයෙන් තවමත් විමර්ශනයක් වෙමින් තියෙන නිසා ඔහු වරදකරුවෙක් කියලා මම කියන්නේ නෑ. නීතිඥවරයෙක් හැටියට මම නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය පිළිගන්නවා. ඒත් අදාළ විමර්ශන අවසන් වන තුරු හෝ කථානායකවරයා සිය ධුරයෙන් අස්වෙලා අපක්ෂපාතීව අර විමර්ශනයටත් සහයෝගය දිය යුතුයි. විමර්ශනවලින් පසුව ඔහු නිර්දෝෂියි කියලා තහවුරු වුණොත් ඉතින් ප්‍රශ්නයක් නෑනේ. මේ වෙලාවේ ආණ්ඩුව මේ ප්‍රශ්නයට මොන වගේ විසඳුමක්ද ගන්නේ කියලා මම දන්නේ නැහැ. කොහොම වුණත් කථානායකවරයත් එක්ක මට පුද්ගලික ප්‍රශ්නයක් නෑ. මම කිසිම වෙලාවක ඔහු වැරදිකාරයෙක් විදිහට හිතලා කතා කරන්නෙත් නැහැ. පවතින නීතිමය තත්ත්වයන් අනුව ඔහුට කථානායක ධුරයේ ඉන්න බැහැ කියන එකයි මගේ තර්කය.
කථානායකවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නනේ. දයාසිරි ජයසේකර කොහොමද ඔය කතාවට පැටලුණේ?
කථානායකවරයා ගැන විමර්ශනයක් වෙමින් තිබෙන පසුබිමක තවදුරටත් ධුරයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් මම සැප්තැම්බර් 10 වනදා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කළා. ඒ වරප්‍රසාද ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී මතු කිරීමට අවසර ඉල්ලා සිටි අවස්ථාවේදී කථානායකවරයා ඊට අවසර ලබා නොදී අදාළ කරුණ තමන් විසින් අධ්‍යයනය කළ යුතුයි කියලා කිව්වා. ඔහු කොහොමද එහෙම තීරණයක් ගන්නේ කියන එකයි මට තියෙන ප්‍රශ්නය.
කථානායකවරයා කියන්නේ මේ රටේ තුන්වැනි පුරවැසියා. මන්ත්‍රිවරයෙක් වුණු ඔබ කථානායකවරයාගේ තීරණයක් අභියෝගයට ලක් කරන්නේ කොහොමද?
කථානායකවරයා කියන්නේ රටේ තුන්වැනි පුරවැසියා බව ඇත්ත. යම් මන්ත්‍රිවරයෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ වරප්‍රසාද ප්‍රශ්නයක් බව බැලූ බැල්මටම පේන්න තියෙනවා නම් එය ඉදිරිපත් කිරීමට අවසර දීමේ හැකියාව කථානායකවරයාට තියෙනවා. ඒත් වරප්‍රසාද ප්‍රශ්නයක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුණොත් ඒ ගැන සාකච්ඡා කරලා තීන්දුවක් ගත යුත්තේ වරප්‍රසාද කමිටුවයි. ඒ අනුව පසුගිය දහවනදා මම ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නය සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතුව තිබුණේත් වරප්‍රසාද කමිටුවයි. ඒත් කථානායකවරයා තමයි ඒ තීන්දුව ගත්තේ. ඔහු එදා මට වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කරන්න දුන්නෙත් නැහැ. එමගින් මගේ වරප්‍රසාද උල්ලංඝනය වුණා. ඊට පස්සේ මම විපක්ෂයේ වෙලාවෙන් විනාඩි පහක් අරන් කතා කරද්දී කථානායකවරයා ඒකටත් බාධා කළා. විනාඩි පහ අවසන් වෙන්නත් කලින් ඒ කියන්නේ විනාඩි තුනකදී මට වාඩිවෙන්න කියලා කථානායකවරයා කිව්වා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වන මගේ භාෂණයේ නිදහස නැති කරන්න කථානායකවරයාට බෑ. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි.
ඒ නිසාද ඔබ ඔය ගැන ජාත්‍යන්තරයට කිව්වේ?
ඔව්. මට කතාකරන්න තියෙන නිදහස අහිමි කරද්දී බලාගෙන ඉන්න බෑනේ. කවුරු වුණත් එහෙම කරනවානම් ඒක වැරදියි. ඒ නිසා අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට, පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයට සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට මම මේ අසාධාරණය පිළිබඳව දැනුම් දුන්නා. ඒ ආයතනවලින් තවම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. නමුත් ඒ අදාළ ආයතන විසින් මම ඉදිරිපත් කළ කාරණා සලකා බලලා සුදුසු තීන්දුවක් දෙයි කියලා මම විශ්වාස කරනවා.
කථානායකවරයාට එරෙහිව පවතින චෝදනා ගැන මේ දවස්වල විවිධ පුද්ගලයන් විවිධ අදහස් ඉදිරිපත් කරනවා. ඇත්තටම කථානායකවරයාට නිල නිවාසයක ඉන්න බැරිද?
ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට වගේම කථානායකවරයාටත් නිල නිවාසයක ඉන්න පුළුවන්. ඔවුන්ගෙන් ඒ සඳහා කිසිම අය කිරීමක් කරන්නේ නෑ. ඒත් තමන්ට හිමි නිල නිවසේ ඉන්නෙ නැතිව වෙනත් තැනක පිහිටි තවත් නිල නිවසක් පාවිච්චියට ගැනීමයි වර්තමාන කථානායකවරයා කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔහුට නිල නිවාස දෙකක් තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. ආණ්ඩුව විසින් නඩත්තු කරන නිල නිවාසයක් දීලා තියෙද්දී තමන්ගේ පඩියෙන් කැපෙන්න හරි තවත් නිල නිවාසයක් ගන්න එක වරදක්. ඒ විතරක් නොවෙයිනේ කථානායකවරයා තමන්ගේ පුද්ගලික ලේකම්වරයාටත් අමාත්‍යවරු සඳහා වන නිල නිවාසයක් අරගෙන. කථානායකවරයා කොහොමද එහෙම කරන්නේ. නිල නිවාස සම්බන්ධ ප්‍රශ්නය එකක් විතරයි. සේවකයන්, වැටුප් විස්තර සහ වාහන පරිහරණය සම්බන්ධයෙන් වූ බව කියන මූල්‍ය අවභාවිතයන් සහ දූෂණ පිළිබඳ චෝදනා කිහිපයක්ම කථානායකවරයාට එල්ල වෙලා තියෙනවා.
අපේ රටේ පළමු කථානායකවරයා වන සර් ෆ්‍රැන්සිස් මොලමුරේටත් ඉල්ලා අස්වෙන්න වුණා. ඒ විදිහටම වර්තමාන කථානායකවරයාත් ඉල්ලා අස්විය යුතුමයි කියලද දැන් ඔබ කියන්නේ?
ඔව්. අනිවාර්යයෙන්ම ඔහු අස්විය යුතුයි. එක පැත්තකින් ඔහුට දූෂණ චෝදනා තියෙනවා. ඒ නිසාම කථානායක ධුරයේ ඉන්න බැහැ කියන එකත් අපි නීතිමය කාරණා අරගෙනම පැහැදිලිව පෙන්නලා දීලා තියෙනවා. ඒ නිසා වර්තමාන කථානායකවරයා අනිවාර්යයෙන්ම ඉල්ලා අස්විය යුතුයි. දූෂණ චෝදනා එල්ල වී තිබෙන කථානායකවරයෙක් තවදුරටත් ධුරයේ තියාගන්නවද නැද්ද කියලා ආණ්ඩුව තීරණය කළ යුතුයි. මොකද දූෂණ විරෝධී පනත උල්ලංඝනය කරමින් කථානායකවරයාට ඉදිරියේදී කිසිම පනතකට අත්සන් තබන්න බෑ. ඒ නිසා ඉල්ලා අස්වෙනවා හැර කථානායකවරයාට වෙන විකල්පයක් නැහැ. අනෙක ඔබ කියූ ආකාරයටම අපේ රටේ පළවෙනි කථානායක, ෆ්‍රැන්සිස් මොලමුරේත් ඉල්ලා අස්වෙලා තියෙනවා. එවැනි පූර්ව ආදර්ශ තියෙන නිසා වර්තමාන කථානායකවරයාට කිසිත් නොදන්නවා වගේ ඉන්න බැහැ.
ලංකාවේ පළමු කථානායකවරයා පමණක් නොවෙයි, ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ගත් පසුව පත් කළ පළමු කථානායකවරයාටත් ඉල්ලා අස්වෙන්න වුණානේ?
ඔව්. ඔහුගේ අධ්‍යාපනික සුදුසුකම් හේතු කරගෙනයි ඒ ප්‍රශ්නය ඇති වුණේ. කථානායකවරයා අසත්‍ය අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරලා කියන කතාව සමාජයේ පැතිරුණාට පසුව ආණ්ඩුව පිළිබඳව ජනතාවට තිබෙන විශ්වාසය පලුදු වෙනවා කියලා ආණ්ඩුව දැනගෙන හිටියා. ඒ නිසා ඔවුන්ට කථානායකවරයාට ධුරයෙන් ඉල්ලා අස්වෙන්න කියනවා හැර වෙන කරන්න දෙයක් තිබුණෙ නැහැ. ආණ්ඩුව බලයට ඇවිත් ටික කාලයකට පසුව ඔය කථානායකවරයාගේ අධ්‍යාපනික සුදුසුකම් පිළිබඳ කතාබහ කරළියට ආවානම් ආණ්ඩුව කථානායකවරයාට අස්වෙන්න කියන්නෙත් නැහැ. ඒ සම්බන්ධයෙන් වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නෙත් නෑ. කොහොම වුණත් ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමුවෙන්ම පත් කළ කථානායකවරයා සම්බන්ධ ප්‍රශ්න තවමත් විසඳිලා නැහැ. ඔහු තමන්ගේ උපාධි සහතිකය පිළිබඳ හරි තොරතුරක් තවම ජනතාවට ප්‍රකාශ කරලා නැහැ. ඔහු වෙනත් නමකින් අර කියන උපාධිය ගත්තා කියලත් කතාවක් අපිට ආරංචි වුණා. කොහොම වුණත් ඒ ප්‍රශ්නයත් ඉතිරි වෙලා තියෙද්දි තමයි ආණ්ඩුව පත්කළ දෙවැනි කථානායකවරයා සම්බන්ධයෙනුත් ගැටලුවක් ඇවිත් තියෙන්නේ. මේ ආණ්ඩුව පත්කළ පළමු කථානායකවරයාගේ සිදුවීමට වඩා නම් වර්තමාන කථානායකවරයාගේ සිදුවීම බරපතළයි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව මොන වගේ තීරණයක්ද ගන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා.
මේ ආණ්ඩුවට කථානායකවරුන්ගෙන් අපලයි වගේ නේද?
ඒක නම් ඉතින් ආණ්ඩුවෙන්ම තමයි අහගන්න වෙන්නේ. මම ඒ ගැන හරියටම කියන්න දන්නේ නෑ. කොහොම වුණත් දැන් මේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ ආණ්ඩුවෙන් පත් කළ කථානායකවරුන්ටනේ. ඒවා විසඳා ගත යුත්තෙත් ඔවුන්ම තමයි. සුදුසුකම් හා අත්දැකීම් තියෙන හරි හමන් මිනිස්සු ටිකක් තනතුරුවලට දාගත්තනම් ආණ්ඩුවට මේ තරම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන්නෙ නෑ කියන එකයි මගේ අදහස.
වර්තමාන කථානායකවරයාට වඩා කලින් හිටිය කථානායකවරයා හොඳයි කිව්වේ මොකද?
ඇත්තටම ඒ ප්‍රකාශය කළේ මම නොවෙයි. මුජිබර් රහුමාන් මැතිතුමා තමයි එවැනි කතාවක් කිව්වේ. කලින් කෙනාට ප්‍රශ්නයක් තිබුණේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් පමණයි. ඔහු අධ්‍යාපන සුදුසුකමත් සම්බන්ධයෙන් බොරුවක් කියලා තිබුණා. ඒත් වර්තමාන කථානායකවරයා එහෙම නොවෙයිනේ. ඔහුට දූෂණ චෝදනාත් තියෙනවා. නීත්‍යනුකූල ගැටලු ගණනාවකටත් මුහුණ දෙන්න වෙනවා. මේවා දිහා බලද්දී දැන් ඉන්න කෙනාට වඩා කලින් කෙනා හොඳයි කියලා හිතන එකෙත් වරදක් නෑ ඉතින්.
ඇත්තටම කථානායකවරයාගේ සිදුවීමේදී කතා කරන්නේ ඔබ, මුජිබර් රහුමාන් ඇතුළු කිහිපදෙනෙක් විතරයි. විපක්ෂයේ අනෙක් පිරිසට මොකද වෙලා තියෙන්නේ?
අපි විපක්ෂයක් හැටියට හැම දෙනෙක්ම මේ ප්‍රශ්නය ගැන කතා කරනවා. ඒත් ඉතින් අපි කතා කරන්නේ අපි දන්න කාරණා මත පදනම් වෙලානේ. එතකොට එක එක පුද්ගලයා දන්න කාරණා අඩු වැඩිවීම මත කතා කිරීමත් අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ වුණත් විපක්ෂයක් හැටියට අපි මේ ප්‍රශ්නය වෙනුවෙන් පෙනී ඉන්නවා.
විපක්‍ෂය මේ ප්‍රශ්නය වෙනුවෙන් පෙනී ඉන්නවා කිව්වට විපක්ෂ නායකවරයාට මේ ගැන වගේ වගක් නෑනෙ?
එහෙම එකක් නෑ. අපි හැමෝම කතා කරනවා. ඔයා මේ ගැන කතා කරන්න. ඔයා මේ ගැන කතා කරන්න එපා කියලා මට කියන්න බැහැනේ. අපි සියලු දෙනාම මේ වෙනුවෙන් කතා කළ යුතුයි කියලා විතරයි මට කියන්න තියෙන්නේ. ඇත්තටම විපක්ෂය හැටියට අපි ඒ දේ කරනවා. විපක්ෂයේ අපි මේ සටන අතහරින්නේ නෑ.

