වත්තල ගේබියන් වැටියේ ඉදිකිරීම් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි
13 September 2026
වත්තල ගේබියන් වැටියේ ඉදිකිරීම් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි
13 September 2026
වත්තල පමුණුගම වහටියගොඩ වෙරළ තීරයේ වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා ඉදිකර ඇති ගේබියන් වැටිය සම්බන්ධ ඉදි කිරීම් කටයුතු නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව නතර කිරීමට පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.
ඒ පරිසර අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් ඊයේ (12) එම වෙරළ තීරයේ සහ වත්තල දික්ඹ්විට තල්දියවත්ත ප්‍රදේශයේ විශේෂ ස්ථානීය නිරීක්ණ කටයුතු දෙකක් සිදු කිරීමෙන් අනතුරුව මෙම උපදෙස් ලබාදී ඇත.
මෙම නිරීක්ෂණ අවස්ථාව සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සහභාගී වූහ.
එහිදී අදාළ ගේබියන් වැටිය සම්බන්ධයෙන් පරිසර අමාත්‍යවරයා විසින් ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමේදී අනාවරණය වී ඇත්තේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නියම කර ඇති සීමාවන්ට ඔබ්බෙන්ද ගේබියන් වැටිය ඉදිකර ඇති බවත් වෙරළට අයත් ප්‍රදේශද අවරණය වන ආකාරයට ඉදි කිරීම් සිදුකර ඇති බවත්ය.
වෙරළ සංරක්ෂණ කලාපය තුළ කිසියම් ඉදිකිරීමක් හෝ සංවර්ධන කටයුත්තක් සිදු කිරීමේදී අදාළ නීති හා රෙගුලාසිවලට අනුකූලව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසර හා අනුමැතිය ලබා ගැනීමට අත්‍යවශ්‍ය වන බැවින් ඒ අනුව අදාළ වැටිය සම්බන්ධව ඉදිකිරීම් කටයුතු නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව නතර කරන ලෙස ලෙස මෙහිදී අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
එමෙන්ම, ගේබියන් වැටිය ඉදිකිරීම සඳහා ලබාදී ඇති අනුමැතීන්, නියම කර ඇති සීමාවන් සහ ඉදිකිරීම් සිදුකර ඇති ආකාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසද අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී.
මෙහිදී අදාළ රාජ්‍ය නිලධාරීන් විසින් තම රාජකාරී හා වගකීම් නිසි පරිදි ඉටුකර තිබේද යන්න පිළිබඳවද විශේෂ අවධානය යොමු කර පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බවද මේ සම්බන්ධව අදහස් දක්වමින් පරිසර අමාත්‍යාංශය පැවසීය.
මේ අතර, වත්තල දික්ඕවිට තල්දියවත්ත ප්‍රදේශයේදී වර්තමානයේ පවතින සක්‍රීය මෝසම් තත්ත්වය සහ මුහුදු රළෙහි ප්‍රබලතාව ඉහළ යාම හේතුවෙන් හානියට පත්ව ඇති නිවසක්ද පරිසර අමාත්‍යවරයා විසින් ඊයේ නිරීක්ෂණය කරන ලදී.
මුහුදු රළ ප්‍රබල වීමත් සමඟ මුහුදු ජලය ගොඩබිම දෙසට පැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ ජීවිත හා දේපළවලට ඇතිවිය හැකි අවදානම පිළිබඳව මෙහිදී අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය.
වෙරළ ඛාදනය සහ මුහුදු රළ හේතුවෙන් ජනතාවගේ ජීවිත හා දේපළවලට සිදුවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික ඇගයීම් සිදුකර, කඩිනම් සහ දිගුකාලීන විසඳුම් හඳුනාගැනීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඒ අනුව, අදාළ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් මෙම ප්‍රදේශයේ වෙරළ ඛාදන තත්ත්වය පිළිබඳව අවශ්‍ය තාක්ෂණික අධ්‍යයන සිදුකර, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
ජනතාවගේ ආරක්ෂාව, වෙරළ පරිසර පද්ධතියේ සංරක්ෂණය සහ නීත්‍යානුකූල වෙරළ කළමනාකරණය තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් වන අතර, වෙරළ කලාපය ආශ්‍රිත සියලුම සංවර්ධන හා සංරක්ෂණ කටයුතු අදාළ නීති, රෙගුලාසි සහ තාක්ෂණික නිර්දේශයන්ට අනුකූලව සිදුකිරීමට අවශ්‍ය පියවර ඉදිරියේදීද ගනු ඇති බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

