දෙරණ කොළඹ අන්තරජාතික සරුංගල් සැණකෙළිය
08 August 2026
දෙරණ කොළඹ අන්තරජාතික සරුංගල් සැණකෙළිය
08 August 2026
දෙරණ කොළඹ අන්තර්ජාතික සරුංගල් සැණකෙළිය, අන්තර්ජාතික සරුංගල් යැවීමේ කලාව ඔස්සේ ලොව පුරා ජනතාව එකිනෙකා හා සම්බන්ධ කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාතික සංස්කෘතික හා සංචාරක ප්‍රවර්ධන උළෙලක් ලෙස ස්ථාපිත වී ඇති සුවිශේෂී උත්සවයකි.
2015 වසරේදී දෙරණ සරුංගල් සංවිධායක කණ්ඩායම විසින් ආරම්භ කළ මෙම උළෙල, ජනතා සහභාගීත්වය, නිර්මාණශීලීත්වය, අන්‍යෝන්‍ය සුහදතාව සහ එළිමහන් විනෝදාස්වාදය එක්තැන් කළ සුවිශේෂී සැණකෙළියක් ලෙස මෙරටට හඳුන්වා දෙන ලදී. එහි ප්‍රථම අදියර පැවැත්වුණේ ‘ලෝකය සහ ලෝකයෝ’ සරුංගල් සැණකෙළිය නමිනි.
ලැබූ සාර්ථකත්වයත් සමඟ, 2017 වසරේදී මෙම උළෙල ‘දෙරණ අන්තර්ජාතික සරුංගල් සැණකෙළිය’ ලෙස නව මුහුණුවරකින් සංවිධානය විය. ප්‍රථම වරට රටවල් හතරක නියෝජිතයන් ඊට එක්වූ අතර, එය ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික සරුංගල් සංස්කෘතියේ නිල ආරම්භය බවට පත් විය. දේශීය මෙන්ම අන්තර්ජාතික ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු විශිෂ්ට ප්‍රතිචාර නිසා මෙම උළෙල කෙටි කාලයකින් විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තේය.
එම ශක්තිමත් පදනම මත 2018 වසරේදී තවත් පියවරක් ඉදිරියට තබමින්, රටවල් අටක සරුංගල් ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් අතිවිශාල පිරිසක් ආකර්ෂණය කර ගැනීමටත් අන්තර්ජාතික ඇගයීමට ලක්වීමටත් මෙම උළෙල සමත් විය.
කෙසේ වෙතත්, ඉන් අනතුරුව ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝගාත්මක කාලපරිච්ඡේදය හමුවේ මෙම උළෙල තාවකාලිකව නතර කිරීමට සිදු විය. 2019 පාස්කු ප්‍රහාරය, කොවිඩ්-19 වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් වසර හතක 07 කාලයක් මෙම උළෙල පැවැත්වීමට නොහැකි විය.
එම කාලසීමාව තුළ මෙම උළෙල මෙරටදී පැවැත්වීමට නොහැකි වුවද, දෙරණ සරුංගල් සැණකෙළිය සංවිධායක කණ්ඩායම සිය ප්‍රයත්නය අත්නොහැරියේය. සෑම වසරකම අන්තර්ජාතික සරුංගල් සැණකෙළි අටකට පමණ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ඔවුන්, වටිනා අත්දැකීම් සමුදායක් ලබා ගැනීමටත්, ගෝලීය සරුංගල් සංගම් සහ ශිල්පීන් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමටත්, ලොව ප්‍රමුඛ පෙළේ උත්සව සංවිධායකයන්ගේ අත්දැකීම් අධ්‍යයනය කිරීමටත් කටයුතු කළේය.
එම අත්දැකීම් පදනම් කරගනිමින් වඩාත් පුළුල් උපායමාර්ගික දැක්මක් ගොඩනැඟිණි. ඒ අනුව, 'ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීමට සහ මෙරට ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමට සරුංගල් සැණකෙළියක් හරහා දායක විය හැක්කේ කෙසේද?' යන ප්‍රධාන ප්‍රශ්නය කෙරෙහි සංවිධායක මණ්ඩලයේ විශේෂ අවධානය යොමු විය.
ඊට විසඳුම වූයේ මෙම උළෙල ප්‍රබල ‘සංචාරක ප්‍රවර්ධන වේදිකාවක්’ (Destination Marketing Platform) බවට පත්කිරීමයි.
එම දැක්මට අනුව, කොළඹ නගරය මෙම අන්තර්ජාතික සන්නාමයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරමින්, ‘දෙරණ කොළඹ අන්තර්ජාතික සරුංගල් සැණකෙළිය’ ලෙස මෙය නැවත ආරම්භ කරන ලදී. එහි මූලික අරමුණ වූයේ ලෝක මට්ටමේ සරුංගල් උළෙලක් පැවැත්වීමට අමතරව, කොළඹ සහ ශ්‍රී ලංකාව සුන්දර සංචාරක ගමනාන්තයක් ලෙස ලොව පුරා ප්‍රවර්ධනය කිරීමයි.
එම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා, අන්තර්ජාතික සංචාරක ප්‍රවර්ධන උත්සවයක් ලෙස මෙහි පවතින හැකියාව හඳුනාගත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ සංවිධායකයන් උපායමාර්ගික සහයෝගීතාවකට එළඹුණි.
පෙර උත්සව සඳහා ලක්ෂ පහකට අධික ජනකායක් එක්වූ බැවින්, රථවාහන පාලනය සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා නිල සහකරුවකු ලෙස ශ්‍රී ලංකා පොලිසිය ද මෙයට දායක කර ගැනීමට සංවිධායකයන් කටයුතු කර ඇත.
2025 වසරේදී නැවත ආරම්භ වූ මෙම උළෙල ඓතිහාසික සංධිස්ථානයක් සනිටුහන් කළේය
එහිදී රටවල් 21 ක් නියෝජනය කරමින් ජාත්‍යන්තර සරුංගල් ශිල්පීන් 54 දෙනෙකු සහ දේශීය ශිල්පීන් 1,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර, එය දකුණු ආසියාවේ මෙතෙක් පැවැත්වූ විශාලතම සරුංගල් සැණකෙළිය ලෙස ඉතිහාසයට එක් විය.
මෙම උත්සවය අතිශය සාර්ථක වූ අතර, අන්තර්ජාතික රූපවාහිනී, ගුවන්විදුලි, මාර්ගගත සහ මුද්‍රිත මාධ්‍ය ආයතන 36ක් මඟින් එය පුළුල් ලෙස ආවරණය කරන ලදී. එමඟින් ශ්‍රී ලංකාවේ ධනාත්මක ප්‍රතිරූපය ගෝලීය ප්‍රේක්ෂකයන් වෙත ගෙන යාමට හැකි විය.
ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර සරුංගල් උළෙලවල් 62 අතරින් 9 වන ස්ථානය දිනාගැනීමට 2025 දෙරණ කොළඹ අන්තර්ජාතික සරුංගල් සැණකෙළිය සමත් විය. එමෙන්ම, සරුංගල් උළෙලක් සඳහා එක් දිනකදී එක්වූ විශාලතම ජනකාය අතරට ද එක්වෙමින් මෙය අලුත් වාර්තාවක් පිහිටුවීය.
එමෙන්ම, 2026 ICC කාන්තා පන්දුවාර 20/20 ලෝක කුසලාන තරගාවලියේ නිල මාර්ගෝපදේශ සංග්‍රහය (Official Guide) මඟින් කොළඹ නගරය ජාත්‍යන්තර සංචාරකයන්ට හඳුන්වා දීම සඳහා මෙම කොළඹ අන්තර්ජාතික සරුංගල් උළෙලේ ඡායාරූපයක් භාවිත කිරීම, ශ්‍රී ලංකාවට තවත් අභිමානවත් මොහොතක් විය.
පසුගිය වසරේ ලද විශිෂ්ට සාර්ථකත්වයෙන් පසුව, 2026 දෙරණ කොළඹ අන්තර්ජාතික සරුංගල් උළෙල වඩාත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙවර රටවල් 30 කින් ජාත්‍යන්තර සරුංගල් ශිල්පීන් 80 දෙනෙකු වෙත ආරාධනා කර ඇති අතර, ශ්‍රී ලාංකික සරුංගල් ශිල්පීන් 1,500 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය.
එසේම, මෙම උළෙල තනි දිනක සමරනු ලබන උත්සවයකින් ඔබ්බට යමින්, සතියක් පුරා පැවැත්වෙන සංස්කෘතික සහ අධ්‍යාපනික වැඩසටහනක් දක්වා විකාශනය වී ඇත.
වයස අවුරුදු 8 ත් 15 ත් අතර දරුවන් සඳහා සංවිධානය කරන ලද සරුංගල් සෑදීමේ සහ යැවීමේ සුවිශේෂී පුහුණු වැඩමුළු මාලාව මෙවර අලුතින් එක් කළ අර්ථපූර්ණ අංගයකි. ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ චීනය යන රටවල ප්‍රවීණ සරුංගල් ශිල්පීන්ගේ මෙහෙයවීමෙන් පැවැති මෙම වැඩමුළු සඳහා දරුවන් 630 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ.
වර්තමාන ළමා පරපුර ස්මාර්ට්ෆෝන් සහ ඩිජිටල් උපාංග කෙරෙහි දැඩි ලෙස බද්ධ වීම අවම කිරීමේ අරමුණින් සංවිධායකයන් විසින් මෙම වැඩමුළු හඳුන්වා දෙන ලදී. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ නිර්මාණශීලීත්වය, කණ්ඩායම් හැඟීම, ප්‍රායෝගික ඉගෙනීම සහ එළිමහන් ක්‍රියාකාරකම් දිරිමත් කරමින් නව පරපුරට සරුංගල් යැවීමේ විනෝදාස්වාදය හඳුන්වා දීමයි.
2026 උළෙල ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා පොලිසිය සහ කොළඹ මහා නගර සභාව යන රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශය අතර ඇති ශක්තිමත් සහයෝගීතාව ප්‍රදර්ශනය කරමින් සංවිධානය කරනු ලබයි.
වැඩසටහනේ අංගයක් ලෙස ජාත්‍යන්තර සරුංගල් ශිල්පීන්ට ශ්‍රී දළදා මාළිගාව වන්දනාමාන කිරීමට අවස්ථාව ලබාදීමට හැකිවිය.එහිදී ඔවුන්ට ශ්‍රී ලංකාවේ ආගමික, සංස්කෘතික සහ ඓතිහාසික උරුමය සෘජුවම විඳගැනීමට අවස්ථාව හිමිවිය.
සතිය පුරා පැවැත්වෙන මෙම උත්සව මාලාව ආකර්ෂණීය අංග රැසකින් සමන්විත වේ:
බ්‍රහස්පතින්දා: ලොව පුරා පැමිණි නියෝජිතයන් පිළිගනිමින් නිල සමාරම්භක උත්සවය පැවැත්වේ.
සිකුරාදා: දේශීය හා විදේශීය මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් නිල අන්තර්ජාතික මාධ්‍ය හමුව පැවැත්වේ.
සෙනසුරාදා උදෑසන: පැරණි සහ මෝටර් රථ (Classic & Vintage Vehicles) 200 කට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් සහ ජාත්‍යන්තර සරුංගල් ශිල්පීන්ගේ එකතුවෙන් වර්ණවත් රථ පෙළපාලියක් කොළඹ නගරයේදී පැවැත්වේ.
සෙනසුරාදා සවස: කොළඹ පෝට් සිටි (Port City Colombo) පරිශ්‍රයේදී තානාපතිවරුන් සහ ජාත්‍යන්තර මාධ්‍යවේදීන් වෙනුවෙන්ම සංවිධානය කරන ලද විශේෂ සරුංගල් යැවීමේ අංගයක් පැවැත්වේ.
ප්‍රධාන සරුංගල් සැණකෙළිය අගෝස්තු 09 වන දින ගාලු මුවදොර පිටියේදී පස්වරු 1.00 සිට පස්වරු 6.30 දක්වා පැවැත්වෙන අතර, එහිදී ලොව පුරා විවිධ මාදිලියේ වර්ණවත් සරුංගල් දහස් ගණනින් කොළඹ අහස් කුස සරසනු ඇත.
ඉන් අනතුරුව, පස්වරු 6.30 සිට පස්වරු 7.30 දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රථම 'රාත්‍රී සරුංගල් උළෙල' (Night Kite Festival) පැවැත්වෙන අතර, එහිදී විදුලි ආලෝකයෙන් බැබළෙන සරුංගල් මඟින් රාත්‍රී අහසේ මනරම් දසුනක් මවනු ඇත.
රාත්‍රී 7.30 සිට මධ්‍යම රාත්‍රිය දක්වා, Avatar සංගීත කණ්ඩායම සමඟින් මෙරට ජනප්‍රියතම ගායක ගායිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන දැවැන්ත ප්‍රසංගයක් සමඟින් ප්‍රේක්ෂකයන්ට සංගීතමය අත්දැකීමක් හිමිවේ.
තවත් සුවිශේෂී ආකර්ෂණයක් ලෙස, ගාලු මුවදොර පරිශ්‍රයට නුදුරු ෂැන්ග්‍රි-ලා (Shangri-La Colombo) හෝටල් පරිශ්‍රය ඉදිරිපිට ‘දෙරණ කොළඹ ආහාර උළෙල’ (Derana Colombo Food Festival) පැවැත්වෙන අතර, උත්සවය පුරා දේශීය හා විදේශීය රසමුසු ආහාර වර්ග රැසක් භුක්ති විඳීමේ අවස්ථාව සංචාරකයන්ට හිමිවේ.
දෙරණ කොළඹ අන්තර්ජාතික සරුංගල් සැණකෙළිය යනු හුදෙක් සරුංගල් යැවීමේ උත්සවයක් පමණක් නොවේ. එය මිත්‍රත්වය, සංස්කෘතිය, සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය සහ ජාතික අභිමානය එක්තැන් කරන මහා මංගල්‍යයකි. පුංචි සරුංගලයකට දේශසීමා අභිබවා ජනතාව යා කිරීමටත්, ශ්‍රී ලංකාව ලෝකය හමුවේ සලකුණු කිරීමටත්, අනාගත පරපුර සවිබල ගැන්වීමටත් ඇති හැකියාව මින් මනාව තහවුරු වේ.
කොළඹ අහස් කුස නැවතත් විසිතුරු සරුංගල්වලින් බැබළෙද්දී, ඒ සමඟින් ප්‍රබල පණිවිඩයක් ලොවට ගෙන යයි. එනම්, විවෘත වූ අහස, සුහදශීලී පෞරුෂය සහ අමතක නොවන අත්දැකීම් සමඟින් ලෝකය පිළිගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බවයි.

