Best News Website award
brand logo
logo
වරද පිළිගත් ඩයනාට දඬුවම් නියම කිරීම ජනවාරි 14 වැනිදා

වරද පිළිගත් ඩයනාට දඬුවම් නියම කිරීම ජනවාරි 14 වැනිදා

26 November 2026

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියට දඬුවම් නියම කිරීම සඳහා එම නඩුව ජනවාරි මස 14 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.


ඒ අනුව විතිතිකාර ඩයනා ගමගේ මහත්මිය පෙර ඇප මත මුදා හැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම මහතා විත්තිකාරියගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් නියෝග කළේය.


2015 වසරේ ජූලි මස 16 වනදා සිට 2016 වසරේ ජුලි මස 16 වනදා දක්වා කාලසීමාව තුළ වලංගු වීසා බලපත් නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආගමන හා විගමන පනත යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.


මෙම නඩුකරය අද(26) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියේය.


එහිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහාන් සෙනෙවිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනාවලට නිවැරදිකරු යැයි තමන් විසින් කලින් ඉදිරිපත් කළ විත්තිවාචකය විත්තිකාරිය විසින් ඉවත් කරගෙන එම චෝදනාවලට ඇය වරද පිළිගන්නා බව සඳහන් කළේය.


ඒ අනුව එම කරුණ සටහන් කරගත් මහෙස්ත්‍රාත්වරයා විත්තිකාරියට දඩුවම් නියම කිරීම සඳහා මෙම නඩුකරය නැවත ජනවාරි මස 14 වන දා කැඳවන ලෙස නියම කළේය.


එදිනට පෙර විත්තිකාරියගේ ඇඟිලි සටහන් ලබාගෙන වාර්තා කැදවීමට පියවර කරනා ලෙසත් මහෙස්ත්‍රාත් වරයා කළ නියෝගයේ සඳහන් වුණි.

 

More News..