නාඩු හැර සහල් මිල ඉහළට
20 October 2025 | සාලිය කුමාර ගුණසේකර
නාඩු හැර සහල් මිල ඉහළට
20 October 2025 | සාලිය කුමාර ගුණසේකර
නාඩු සහල් හැර අනෙකුත් සියලුම සහල් වර්ගවල සිල්ලර මිල ගණන් ඉහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කරයි.
ඒ අනුව උපරිම මිල ඉහළ යාමක් වාර්තා වන්නේ සම්බා සහල් සම්බන්ධයෙන් බවද එම ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවක දැක්වේ.තවද එම ආයතනය සඳහන් කරන පරිදි කොළඹ සහ ආසන්න ප්‍රදේශවල වෙළෙඳපොළවල මිල ගණන් අනුව කීරි සම්බා, සම්බා සහ නාඩු යන සහල් වර්ග අලෙවි කෙරෙන්නේ පාලන මිල ඉක්මවමිනි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඉකුත් වසරේ (2024) දෙසැම්බර් 09 වැනිදා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයට අනුව කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 260 ක උපරිම සිල්ලර මිලකට, සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 240 ක උපරිම සිල්ලර මිලකට නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 230 ක උපරිම සිල්ලර මිලකට සහ කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 220 ක උපරිම සිල්ලර මිලකට අලෙවි කළ යුතුය.
නමුත් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කරන පරිදි වර්තමාන වෙළෙඳපොළේ කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 300 - 320 ත් අතර මිලකට, සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 260 -280 ත් අතර මිලකට සහ නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 230 -240 ත් අතර සිල්ලර මිලකට අලෙවි කෙරේ.
මේ අතර තොග සැපයුම අඩුවීම හේතුවෙන් දේශීය සම්බා සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 17 කින් ඉහළ ගොස් ඇතැයිද එම ආයතනය පෙන්වා දෙයි. පසුගිය වසරේ ඊට සමාන කාලපරිච්ඡේදය සමග සැසදීමේදී කීරි සම්බා කිලෝග්‍රෑමයක උපරිම මිල ඉහළ යාම සියයට දාසයක් (16%) ලෙස වාර්තා වේ.
වෙළෙඳපොළේ පවතින කීරි සම්බා සහල් හිඟය සහ මිල ඉහළ යාම හේතුවෙන් එම සහල්වලට ආදේශක සහල් වර්ගයක් වන පොන්නි සම්බා ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය ඉකුත් සඳුදා (13 වැනිදා) අනුමැතිය ලබා දුන්නේය. ඒ අනුව ඉකුත් 15 වැනිදා සිට ලබන මස 15 වැනිදා දක්වා කාලයේදී පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට අවසර ලබාදී ඇති අතර එක් අයකුට ආනයනය කළ හැකි උපරිම සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 520 කි.

