ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය!
24 June 2025
ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය!
24 June 2025
ඩොනල්ඩ් ට්‍රම්ප් පළමුවැනි වරට ඇමරිකන් ජනාධිපති ධුරය දැරූ 2016-20 කාලසීමාවේදී ඔහු පිළිබඳ මවා තිබුණේ සාමකාමී ලෝක නායකයෙකුගේ ප්‍රතිරූපයකි. ජාතිකත්වයට මුල් තැන දෙන අනුන්ගේ යුද්ධවලට සිය රට පැටලෙනවාට අකැමැති පුද්ගලයෙකු හැටියට ඔහු සැලකුණේය. එහෙත් ගිය අවුරුද්දේ දෙවැනි වතාවට බලයට පත්වීමෙන් පසු ඔහු පෙන්නුම් කරමින් සිටින්නේ තමන්ද යන්නේ ජෝර්ජ් ඩබ්ලියු. බුෂ්, බැරක් ඔබාමා හා ජෝ බයිඩන් යන ජනාධිපතිවරුන් ගිය පාරට නොවෙනස් මගක බවය.
ඊයේ පෙරේදා ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට හිටිහැටියේ එල්ල කෙරුණු ඇමරිකන් ප්‍රහාරය ට්‍රම්ප් පිළිබඳ නිවැරදි චිත්‍රය ලෝකයාට පෙන්නුම් කළේය. ඒ ප්‍රහාරයෙන් ඉරාන න්‍යෂ්ටික බලය සුන් කළ බව කියන අතරේ ට්‍රම්ප් ඉරානයට වහාම යටත් වන්නට යැයිද කියා සිටියේය. එහෙත් මේ ප්‍රකාශය තේරුම් ගැනීමට අපහසු එකෙකි. ඉරාන න්‍යෂ්ටික බලය විනාශ කර දැම්මේ නම් ඔවුන් කළ යුත්තේ එරටට තවදුරටත් ප්‍රහාර එල්ල නොකරන ලෙස ඊශ්‍රායලයෙන්ද ඉල්ලා සිටීමය. මන්ද යත් ඊශ්‍රායලය මේ යුද්ධය ඇරඹුවේම ඉරාන න්‍යෂ්ටික අවිවලින් මැදපෙරදිග කලාපයට මතුවී ඇති තර්ජනය ගැන කියමින් නිසාය.
ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඊශ්‍රායලය මෙසේ ඉරාන න්‍යෂ්ටික අවි ගැන කිව්වද, න්‍යෂ්ටික අවි පිළිබඳ දන්නා පාර්ශ්ව කියන්නේ වෙනස් කතාවකි. ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය හා ඇ.එ. ජනපදයේ ජාතික බුද්ධි අංශය ඉතා පැහැදිලිව කියා ඇත්තේ ඉරානයට න්‍යෂ්ටික අවි නැති බවයි. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ආයතන ද්වයේම මතය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. එසේ වුවද මෙවැනි වෘත්තීය මට්ටමේ ආයතනවල (ඉන් එකක් ඇ.එ. ජනපදයේ බුද්ධි අංශයයි) අදහස් භාර නොගැනීම පිළිබඳ හේතු දැක්වීමක්ද ඇමරිකන් ජනාධිපතිවරයා ප්‍රසිද්ධ කර නැත.
මෙහිදී ලෝක දේශපාලනය ගැන අවදියෙන් සිටින කාටකාටත් මතක් වෙන අතීත කතාවක්ද තිබේ. ඒ ජෝර්ජ් ඩබ්ලියු. බුෂ් ජනාධිපතිවරයා ඉරාකය සතුව සමූල ඝාතක අවි ඇතැයි කියමින් ඒ විනාශ කිරීම සඳහා ඉරාකය ආක්‍රමණය කළ කතන්දරයයි. ඉරාකය යටත් කර, එරට ජනාධිපති සදාම් හුසේන් ඝාතනය කළද ඇමරිකන් හමුදාවට එදා සමූල ඝාතක අවි හමුවූයේ නැත. ඒ, ඉරාකය ආක්‍රමණය කිරීම සාධාරණීකරණයට යොදා ගත් තුරුම්පුව බව ලෝකයාට වැටහෙන විට කෝච්චිය ගොසිනි. ඒ නිසා ඉරානයේ න්‍යෂ්ටික අවිද, ඉරාකයේ සමූල ඝාතක අවි වැනි යැයි බලා සිටින්නන්ට සිතීම සාධාරණය.
බටහිර ලෝකය හා ඉරානය අතර සබඳතා බිඳ වැටුණේ 1979 දී සිදුවූ ඉස්ලාමීය විප්ලවයෙන් පසුවය. ලෝකය පුරා පැතිර යන මූලධර්මවාදී ඉස්ලාම් රැල්ල පිටුපස සිටින්නේ ඉරානය යැයි යන හැඟීමද ඊට පසුව ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූයේය. ඊශ්‍රායලය ස්වෛරී රාජ්‍යයකට එල්ල කළ ප්‍රහාර නිවැරදි බව පෙන්වීමට න්‍යෂ්ටික මධ්‍යස්ථාන ගෙනහැර පාන අතරේ, ඉස්ලාම් මූලධර්මවාදයට විරුද්ධ ජනමතය ඊශ්‍රායල් ප්‍රහාර පිළිබඳමෞන වෘතය රකින්නේ මේ පසුබිමේය.
මේ තත්ත්වය යටතේ ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු උත්සාහ කරන්නේ ස්වකීය පෞද්ගලික ප්‍රශ්න විසඳා ගැනීමට බවද සැලකිල්ලට ගත යුතුව තිබේ. අභ්‍යන්තර වශයෙන් දූෂණ චෝදනා ඔහුට විරුද්ධව නැගී තිබෙද්දී ඉරාන ආක්‍රමණය තුළින් සිය රටේ ජනප්‍රියත්වය ගොඩනගා ගැනීමට ඔහු එක පැත්තකින් යත්න දරයි. අනෙක් පැත්තෙන් සිය පැවැත්ම සඳහා ඇමරිකන් ප්‍රසාදය දිනාගැනීමට බලාපොරොත්තු වෙයි.
ඇමරිකන් හිතෛෂීභාවය නම් මේ වන විට නොඅඩුව ලැබී තිබේ. ඉරානයට එල්ල වූ ඇමරිකන් ප්‍රහාරවලින් පෙනී ගියේ ඊශ්‍රායලය මුලින් පහර දුන්නේ ඇමරිකන් එකඟතාවය ඇතිව බවයි. එහෙත් නෙතන්යාහුට ඊශ්‍රායලයේද, ට්‍රම්ප්ට ඇ.එ. ජනපදයේද ජනතාවගේ පිළිගැනීම මේ සඳහා ලැබෙන්නේද යන්න සැක සහිතය. "ඉරානය අපට සමාවෙන්න" යන අදහස ඇති බැනර් ඊශ්‍රායලයේ යුද විරෝධී පෙළපාළිවල දකින්නට ලැබෙද්දී, ට්‍රම්ප්ට සිය රටෙන් ලැබෙන ප්‍රතිචාරද ඊට නොවෙනස්ය.
විශේෂයෙන් ඇමරිකන් ඩිමොක්‍රැටික් පක්ෂය ට්‍රම්ප්ගේ යුද උන්මාදය එකහෙළා හෙලා දකී. සෙනෙට් සභාවේ ඩිමොක්‍රැටික් නායක චක් ෂූමර් කියා තිබුණේ ඒකපාර්ශිකව ඇමරිකන් හමුදා යුද්ධයට යැවීම වැරදි බැවින්, මෙය ට්‍රම්ප්ට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට තරම් වන කාරණයක් බවත්ය. සෙනෙට් සභාවේ අනෙකුත් සභිකයන්ද දක්වා ඇති විරෝධයේ හැටියට දෝෂාභියෝගයක් ඉදිරිපත් වීමේ ප්‍රබල අවස්ථාවක් ඇති බව පෙනෙන්නට තිබේ.
මේ අතර ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති අතර, මෙය එරටට පළමුවැනි ප්‍රහාරය එල්ලවූ දා පටන් ලෝකයා සිද්ධ විය හැකි යැයි අපේක්ෂාවෙන් සිටි ඛේදනීය තත්ත්වයකි. ඛනිජ තෙල් හිඟවීම, මිල වැඩිවීමවැනි දේවල් මේ නිසා සිදුවිය හැකි බව විශ්වාස කරන අතර යුද්ධයට කිසිම සම්බන්ධක් නැති පාර්ශ්වයන්ටද යුද්ධයේ අනිෂ්ට ප්‍රතිඵල විඳින්නට සිදුවනු ඇත.
මේ සියලු නිෂේධනාත්මක තොරතුරු අතරේ හාස්‍යජනක ආරංචියක්ද අසන්නට ලැබී තිබේ. ඒ පාකිස්තානය ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා කරන්නට යන පුවතය. ඒ කෙරෙන්නේද ඒ සඳහා ගැළපෙනම අවස්ථාවකය!