brand logo
logo
කාවන්තිස්සගේ ගමන් විලාසය අහසින් බලයි

කාවන්තිස්සගේ ගමන් විලාසය අහසින් බලයි

16 October 2026 | සාලිය කුමාර ගුණසේකර


අසනීප තත්ත්වයෙන් පසුවන කාවන්තිස්ස ඇතාගේ රාත්‍රි කාලයේ හැසිරීම් රටාව නිරීක්ෂණය කිරීම සඳහා තර්මල් තාක්ෂණයෙන් යුතු ඩ්‍රෝන කැමරා (thermal drone) යෙදවීමටත්, ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය හදිසියේ වෙනස් වුවහොත් සහාය ලබාගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ 25 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් සූදානම්කර තබාගැනීමටත් පරිසර අමාත්‍යාංශය සැලසුම් කර ඇත.


මෙහිදී තර්මල් ඩ්‍රෝන කැමරා යොදාගෙන ඇතා ගමන් කරන ආකාරය, ජලය පානය කරන ආකාරය සහ අනෙකුත් ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට නියමිතය.


රෝගාතුරව සිටින කාවන්තිස්ස ඇතාගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීම සහ ඉදිරි ප්‍රතිකාර කටයුතු විධිමත් කිරීම සඳහා පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි නිරීක්ෂණ සංචාරයක නිරතවීමෙන් පසුව මෙම තීරණ ගෙන තිබේ.


වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්, සත්වෝද්‍යානවල දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සහ පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන් ඇතුළු විශේෂඥයන්ගේ දායකත්වයෙන් කාවන්තිස්ස ඇතා සඳහා ප්‍රතිකාර සැලැස්මක්ද සකස්කර ඇත.


ඇතාගේ සෞඛ්‍ය තත්ත්වයට අදාළ ප්‍රතිකාර සඳහා අමතර වෛද්‍ය සහාය ලබාගැනීම සම්බන්ධවද අවධානය යොමුවී තිබේ. මෙහිදී අවශ්‍යතාව මත සත්වෝද්‍යානවල සේවය කරන පශු වෛද්‍ය විශේෂඥයන්ගේ සහාය ලබාගැනීමටද නියමිතය.


ඇතාගේ ආරක්ෂාවට සහ ප්‍රතිකාර කටයුතුවලට අවශ්‍ය විය හැකි විශේෂ උපකරණ, ආරක්ෂිත පටි, එසවීමේ හෝ ප්‍රවාහන සහාය සඳහා යොදාගත හැකි යන්ත්‍රෝපකරණ සහ අනෙකුත් පහසුකම් කල්තියා සූදානම්කර තැබීමටද ඇමැතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.


ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබාගැනීම සඳහා දෛනිකව Zoom තාක්ෂණය ඔස්සේ සාකච්ඡා දිනපතා පැවැත්වෙන අතර එය එසේම පවත්වාගෙන යාමට ද නියමිතය.

 

More News..