පිත්තේ දස්කමින් ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයට ගෙනගිය පුංචි රෙහාන්
08 September 2026
පිත්තේ දස්කමින් ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයට ගෙනගිය පුංචි රෙහාන්
08 September 2026
ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙන යමින් ක්‍රිකට් ක්‍රීඩාවෙහි දස්කම් පානා සොලොස් හැවිරිදි රෙහාන් කිරිඇල්ල මේ වන විට ඉතාලියේ ක්‍රීඩාවෙහි නිරත වෙමින් සිටියි.
තුෂාර කිරිඇල්ල හා ලක්මිණී සෙනවිරත්න යන දෙමාපියන්ගේ එකම පුතු වන රෙහාන් කිරිඇල්ල, ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව ඉතාලියේදී උපත ලබන්නේය. ඔහුට වයස අවුරුදු තුනේදී ඔහුගේ හීනය වෙනුවෙන් එංගලන්තය කරා පදිංචියට යන අතර පුංචි රෙහාන් වයස අවුරුදු හතේදී ක්‍රිකට් ක්‍රීඩාවේ මුල් පියවරට පා තැබීය. ඔහු එම වයසේදී එංගලන්තයේ යෝක්ෂයර් කලාපීය අවුරුදු 12න් පහළ කණ්ඩායම සඳහා ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගැනීම තුළින් ඔහුගේ ක්‍රිකට් දිවියේ දෂ්කම් පෑම ලෝකය හමුවේ තැබීමට සමත් වූයේය. වර්ක්ෆීල්ඩ් දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ ලීගයේ නොදැවී ලකුණු 109ක් ලබාගත් පුංචි රෙහාන් සෑම තරගයකදීම ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කිරීම තුළින් ඔහුගේ දක්ෂතාවයේ ලොවට පෙන්වා දීමට සමත් ව ඇත. තවද ඔහු දකුණත් පාදඟ පන්දු යවන්නෙකු ද වේ.
2024 වසරේ සදර්න් ප්‍රිමියර් ලීග් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් තරගාවලියේදී වැඩිම ලකුණු රැස්කළ කනිෂ්ඨ ක්‍රීඩකයාට හිමි සම්මානය මැතිව් හොගාර්ඩ් අතින් ලබා ගැනීම තුළින් රෙහාන් කිරිඇල්ල තවත් ජනප්‍රියත්වයට පත්වී ඇත. මෙම පුංචි පිතිකරුවාගේ සුවිශේෂීත්වය වන්නේ මේ වනවිට ඔහු වයස අවුරුදු 16ක ක්‍රීඩකයෙකු වුවද එංගලන්තයේ මෑන් ෆීල්ඩ් ක්‍රිකට් සමාජයේ ඩාබිශයර්හි 18න් පහළ වයස් කාණ්ඩය යටතේ ප්‍රිමියර් ලීග් අදියරට ක්‍රීඩා කිරීමයි. තවද ඔහු වයස අවුරුදු 19න් පහළ කාණ්ඩය යටතේ ඉතාලි ජාතික කණ්ඩායමට ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරමින් ක්‍රිකට් දිවිය තුළ ඔහු සැබෑ දක්ෂයෙකු ලෙස ලොවට පෙන්වා අවසන්ය. මෙතෙක් ඔහුගේ ක්‍රිකට් දිවිය තුළ සියලු ආකෘතින්හි තරග 331කදී ශතක 5ක් සහ අර්ධ ශතක 22 ක් රැස් කරගෙන ඇති අතර නොදැවුණු වාර 78 ක් ද, හතරේ පහර 799ක් හා හයේ පහරවල් 63ක් සිය වාර්තා අතරට එක් කර ඇත.

