Best News Website award
brand logo
logo
යට ඇඳුම්වල සඟවා කෝටි 2 ක රන් බිස්කට් ගෙනා ගුරුවරිය දැලේ

යට ඇඳුම්වල සඟවා කෝටි 2 ක රන් බිස්කට් ගෙනා ගුරුවරිය දැලේ

13 November 2026 | කටුනායක - ටී.කේ.ජී. කපිල

රුපියල් දෙකෝටි හතළිස් පන් ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් ඊයේ (12) දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


ඇය හෝමාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවන පෞද්ගලික පාසලක සේවයේ නිරත ගුරුවරියකි.


ඇය ඊයේ අලුයම 12.00 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.


එහිදී ඇය සිය යට ඇඳුම් තුළ වූ කුඩා පසුම්බි දෙකක මෙම ග්‍රෑම් 436 ක් බරැති රන් බිස්කට් 04 ක් සහ තවත් රන් බිස්කට්ටුවක කොටසක් ද සඟවා ගෙන සිටිය දී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම රන් බිස්කට් තොගය සහ ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගී කාන්තාව, කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබූ අතර එහිදී මෙම රන් බිස්කට් තොගය රාජසන්තක කර ඇයට රුපියල් ලක්ෂ 25 ක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ.

 

More News..