වර්ෂාපතනය හමුවේ ඩෙංගු නැවතත් ඉහළ යා හැකියි
15 September 2026
වර්ෂාපතනය හමුවේ ඩෙංගු නැවතත් ඉහළ යා හැකියි
15 September 2026
සෑම දිස්ත්‍රික්කයකම තවමත් සිදු කෙරෙන කීට පරීක්ෂණ වැඩසටහන් තුළින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හමුවන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.
ඊයේ (14) දින සිට සතියක කාලසීමාවක් දක්වා ආරම්භ කරන ලද ඩෙංගු මර්දන වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍යවරයා ඒ බව පැවසීය.
කෙසේ නමුත් පසුගිය කාලයේ ඇති වූ ඩෙංගු අධි අවදානම් තත්ත්වයේ යම් කිසි අඩුවීමක් පවතින පවතින බව පෙන්වා දුන් ඒ මහතා සෞඛ්‍ය අංශ සහ ජනතා කැපවීම මත මෙම කාර්ය සිදු කර ගැනීමට හැකි වූ බවද පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් සතියක කාලයක ඩෙංගු මර්දන වැඩසටහනක් නැවත ඇරඹීමට හේතු වූයේ ඉදිරි වැසි තත්ත්වයන් මත ඩෙංගු රෝගය නැවත හිස එසවීමට ඇති හැකියාව හේතුවෙන් බව පෙන්වා දුන් ඒ මහතා ඒ අනුව රෝගය නැවත උත්සන්න වීම මැඩ පැවැත්විම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
මෙම වැඩසටහන පළාත් 6ක සහ දිස්ත්‍රික්ක 15ක ක්‍රියාත්මක වන බවත් ඒහා සමගාමීව කොළඹ නගර සීමාව තුළද ක්‍රියාත්මක වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙම වැඩසටහන සඳහා සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයක් සඳහා කණ්ඩායම් 10 බැගින් යොදවන බවත් පැවසූ වෛද්‍යවරයා මෙම කණ්ඩායම් 10 සඳහා සෞඛ්‍ය සේවකයෙක්, හමුදා නිලධාරියෙකු, පොලිස් නිලධාරියෙකු සහ ස්වේච්ඡා සේවකයින් සම්බන්ධ වෙන බවද සඳහන් කළේය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා,
"ඊයේ සිට සතියක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් පටන් ගත්තා. මේකට අරමුණ වුණේ අපිට දැන් ඉඳන් ඉස්සරහට මාස කිහිපයක් තුළ එන ඊසාන දිග මෝසම් සුළං, එල්නිනෝ තත්ත්වය නිසා පුරෝකථනය කරන වැසි තත්ත්වයන් සහ අන්තර් මෝසම් සුළං කාලයත් එක්ක ලැබෙන වැසි තත්ත්වයන් එක්ක නැවත වරක් මේ ඩෙංගු රෝගය හිස ඔසවන්න පුළුවන් කියන තත්ත්වයත් එක්ක මෙය මැඩපැවැත්වීම තමයි මෙහි අරමුණ වුණේ.
මෙම අවස්ථාවේ රෝගී සංඛ්‍යාව ගත්තොත් පසුගිය කාලයේ ඇතිවුණ අධි අවදානම් තත්ත්වන් එක්ක ගත්තොත් යම්කිසි අඩුවීමක් තියෙනවා. ඒ දවස්වල දෛනිකව රෝගීන් 1,200ක් - 1,300ත් අතර ප්‍රමාණයක් වාර්තා වුණා. නමුත් මේ වන විට සමස්තයක් විදිහට ගත්තොත් වාර්තා වෙන්නේ රෝගීන් 159ක්. මේ අවස්ථාවේදී පසුගිය කාලයේ කරපු වැඩසටහන් සහ ජනතාවගෙන් ලැබුණු සහයෝගය තුළ අපිට හැකියාව ලැබුණා ඉතාමත් ඉක්මනින් මේ අධි අවදානම් වසංගත තත්ත්වය අවම කරගන්න. නමුත් මෙයින් අපි සෑහිමකට පත්විය නොහැකියි. මොකද අපි මේ දවස්වල සෑම දිස්ත්‍රික්කයකම කරන කීට සමීක්ෂණ තුළ සොයාගෙන තියෙනවා ඩෙංගු බෝවන ස්ථාන තවමත් පවතිනවා. ඒ නිසා මේ තත්ත්වය මැඩ පැවැත්වීමට තමයි මේ විශේෂ සතියක වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.
මේ වැඩසටහන පළාත් 7ක ක්‍රියාත්මක වෙනවා. ඒ එක්කම දිස්ත්‍රික්ක 15ක් සහ කොළඹ නගර සභා සීමාව ඇතුළු ස්ථාන 16ක ක්‍රියාත්මක වෙනවා. සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා ඒ සෑම කොට්ඨාසයකටම කණ්ඩායම් 10 බැගින් යැවෙනවා. එක කණ්ඩායමකට සෞඛ්‍ය සේවකයෙක්, හමුදා නිලධාරියෙක්, පොලිස් නිලධාරියෙක් සහ ස්වෙච්ඡා සේවකයින් සම්බන්ධ වෙනවා. ඊට අමතරව රාජ්‍ය පරිපාලන සහ පලාත් සභා අමාත්‍යාංශයේ මැදිහත් වීම තුළ ප්‍රාදේශීය ලේකම් දිසා ලේකම් මේකට සම්බන්ධ වෙලා ඒ හරහා බිම් මට්ටමේ ග්‍රාම සේවක නිලධාරීන් සම්බන්ධ වෙලා තමන්ගේ ග්‍රාම නිලධාරී කොට්ටාස තුළ සිදු කෙරෙන සුද්ධ පවිත්‍ර කිරීම් වැඩසටහන් සඳහා සම්බන්ධ වෙනවා."

