අක්කර පහට අඩු පොල් ඉඩම් සංවර්ධනයට රුපියල් මිලියන 2,500ක සහනාධාරයක්
06 November 2026
අක්කර පහට අඩු පොල් ඉඩම් සංවර්ධනයට රුපියල් මිලියන 2,500ක සහනාධාරයක්
06 November 2026
අක්කර පහට අඩු පොල් ඉඩම් සංවර්ධනය කිරීම සඳහා 2026 වසරට අදාළව රුපියල් මිලියන 2,500ක විශේෂ සහනාධාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගෙන තිබේ.
“කප්තුරු සවිය” වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් එක් අක්කරයක් සඳහා රුපියල් 94,000ක් දක්වා උපරිම සහනාධාර මුදලක් ලබාගැනීමට පොල් වගාකරුවන්ට අවස්ථාව හිමිවේ.
පොල් වගාවේ ඵලදායීතාව ඉහළ නැංවීම, කුඩා පරිමාණ පොල් වගාකරුවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම, පවතින පොල් ඉඩම් නිසි පරිදි නඩත්තු කිරීම සහ වියළි කාලගුණික තත්ත්වයන් හමුවේ වගාව ආරක්ෂා කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වේ.
ඒ අනුව, වැඩුණු පොල් වගාව සඳහා පොහොර යොදා වසුන් කිරීමේදී එක් පොල් ගසකට රුපියල් 700 බැගින් සහ අක්කරයකට උපරිම රුපියල් 44,000ක සහනාධාරයක් හිමිවේ. ඩොලමයිට් යොදා වසුන් කිරීම සඳහා එක් පොල් ගසකට රුපියල් 200 බැගින් සහ අක්කරයකට උපරිම රුපියල් 12,800ක සහනාධාරයක් ලබාදීමට ද නියමිතය.
මීට අමතරව, පොල් ඉඩම් සඳහා ජල සම්පාදන පද්ධති ස්ථාපනය කිරීම වෙනුවෙන් අක්කරයකට රුපියල් 50,000ක සහනාධාරයක් ලබාදීමට සැලසුම් කර තිබේ.
මෙම වැඩසටහන යටතේ පොහොර යොදා වසුන් කිරීමෙන් පොල් ඉඩම් අක්කර 33,640ක් ද, ඩොලමයිට් යොදා වසුන් කිරීමෙන් අක්කර 40,750ක් ද සංවර්ධනය කිරීමට අපේක්ෂිතය. එසේම ජල සම්පාදන පද්ධති ස්ථාපනය කිරීම මගින් තවත් පොල් ඉඩම් අක්කර 9,000ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.
පොල් වගාකරුවන්ට අවශ්‍ය පොල් පොහොර සහ ඩොලමයිට් සහනදායී මිලට දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ලබාගැනීමේ පහසුකම් ද සලසා තිබේ.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පොල් වගා කිරීමේ මණ්ඩලය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
මේ සඳහා ඉල්ලුම් කිරීමට කැමති සුදුසුකම් ලත් පොල් වගාකරුවන්ට තම ප්‍රදේශයේ පොල් සංවර්ධන නිලධාරීවරයා හෝ ගොවිජන සේවා මධ්‍යස්ථානය ඇමතීමෙන් වැඩිදුර තොරතුරු සහ අයදුම්පත් ලබාගත හැකිය.
එසේ නොමැතිනම් 1916 ක්ෂණික දුරකථන අංකය ඇමතීමෙන් ද තොරතුරු ලබාගත හැකි බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කරයි.

