චෙම්මනි සමූහ මිනීවළ ගැන විමර්ශන විද්‍යාත්මකව සහ අධිකරණ අධීක්ෂණය යටතේ සිදුකරනවා – අධිකරණ ඇමති
21 November 2026
චෙම්මනි සමූහ මිනීවළ ගැන විමර්ශන විද්‍යාත්මකව සහ අධිකරණ අධීක්ෂණය යටතේ සිදුකරනවා – අධිකරණ ඇමති
21 November 2026
යාපනය, චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධයෙන් සිදු කෙරෙන කැණීම් සහ විමර්ශන කටයුතු පූර්ණ අධිකරණ අධීක්ෂණය යටතේ විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කෙරෙන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා විසින් ස්ථාවර නියෝග 27(2) යටතේ අද (21) දින යොමු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
සෙම්මනි සමූහ මිනීවළෙහි අදියර කිහිපයක් යටතේ සිදු කළ කැණීම්වලින් මේ වන විට දළ වශයෙන් පුද්ගලයින් 574 දෙනෙකුගේ අස්ථි කොටස් සොයාගෙන තිබේ.
මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ මෙහෙයවීමෙන් සිදුවන මෙම කැණීම් කටයුතු යාපනය මහේස්ත්‍රාත්වරයා, පාර්ශ්වකරුවන් නියෝජනය කරන නීතිඥවරුන්, යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සෙල්ලයියා ප්‍රනවන් මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ඉදිරියේ අඛණ්ඩ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.
තවද, 2025 අප්‍රේල් 29 වන දිනැති අධිකරණ අනුමැතියට අනුව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ද නිරීක්ෂකයෙකු ලෙස මීට සක්‍රීයව සම්බන්ධවී සිටියි.
මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඉදිරිපත් කර ඇත්තේ අස්ථි කොටස් වළ දමා ඇති පුරාවිද්‍යාත්මක සන්දර්භය පිළිබඳ අධිකරණ පුරාවිද්‍යාත්මක වාර්තාවක් මිස අධිකරණ වෛද්‍ය වාර්තාවක් නොවන බව අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය.
මරණයට හේතුව සහ මරණය සිදු වූ ආකාරය පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කිරීමේ කටයුතු මහේස්ත්‍රාත් නියෝග මත යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සෙල්ලයියා ප්‍රනවන් මහතා සහ ඔහුගේ කණ්ඩායම විසින් දැනටමත් ආරම්භ කර ඇත.
මෙරට තුළ උසස් DNA විශ්ලේෂණ පහසුකම් නොමැති බැවින්, අධිකරණය විසින් නියෝග කරනු ලබන සුදුසු අවස්ථාවේදී මිනිස් අස්ථි කොටස් හඳුනා ගැනීම සහ DNA පරීක්ෂණ සඳහා සාම්පල විදේශගත කිරීමට සහ ජාත්‍යන්තර තාක්ෂණික සහාය ලබා ගැනීමට රජය සම්පූර්ණයෙන්ම විවෘතව සිටින බව හර්ෂණ නානායක්කාර මහතා තහවුරු කළේය.
එහිදී ඔහු අවධාරණය කළේ, රජයේ එකම අරමුණ විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව සත්‍යය සොයා ගැනීම සහ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම බවය.
ජාතිය, ආගම හෝ කුලය නොසලකා නීතියට අනුකූලව මෙම විමර්ශන අවසන් කරන බවත්, මෙම සංවේදී කරුණ දේශපාලනීකරණය නොකරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය.


