brand logo
logo
ලෝකයේ අඩුවෙන්ම වැටුප් ලැ⁣බෙන රටක්

ලෝකයේ අඩුවෙන්ම වැටුප් ලැ⁣බෙන රටක්

02 September 2026


අපේ රට වාර්තාවලට ප්‍රසිද්ධය. බොහෝ ක්ෂේත්‍රවලදී ලෝකයෙන්ම, ආසියාවෙන්ම, සාක් කලාපයෙන්ම පළමුවැනි තැන ගන්නා රට හැටියට ශ්‍රී ලංකාව වර්ණනා කරගැනීම අපේ පුරුද්දකි. දැන් අපේ රට තවත් අලුත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ සාක් කලාපයේ අඩුම වැටුප් ලබන්නන් සිටින රට හැටියටය. ලෝක මට්ටමින් ගත්තද අපේ රට එහිදී සෑහෙන තරම් ඉදිරියෙන් සිටියි. ලෝකයේ රටවල් එකසිය තිහක් අතරින් අවම වැටුප් ලබන රටවල් දුසිමෙන් එකක් ලෙසය.


මෙය ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් (ILO) තොරතුරු ලබාගෙන සකස් කරන ලද නියැදියකි. ලෝකයේ අවම වැටුප් සංසන්දනය කරමින් කෙරුණකි. එහිදී අපේ රට සිටින්නේ ලෝකයේ රටවල් එකසිය තිහක් අතරින් එකසිය විසිවැනි ස්ථානයේය. එක අතකින් ශ්‍රී ලංකාවට මධ්‍යම ආදායම් ලබන මට්ටමේ රටක් හැටියට මෑතකදී ලෝක බැංකුවෙන් උසස්වීමක් ලැබුණේය. නිදහස ලැබුණුදා පටන් අපේ රට කල් ගෙව්වේ සංවර්ධනය වෙමින් පවතින රටක් යන පිරුවටය ඇඳගෙනය. ඒ පිරුවටය යටින් තිබුණේ දුප්පත් රටක් යන යට ඇඳුමය. එසේ ගත් කල මධ්‍යම ආදායම් ලබන මට්ටමේ රටක් යන්නද අලුත් පිරුවටයක් පමණක් බව පෙනේ. ලෝකයේ අඩුම වැටුප් ලබන්නන් සිටින රටක් මධ්‍යම ආදායම් ලබන රටක් වීම හා ගැළපෙන්නේ නැති බැවිනි. මෙතැනදී සිදුවී ඇත්තේ විශාල ආදායම් ලබන ටික දෙනකුගේ අනුහසින් මුළු රටටම තමන්ට ගැළපෙන්නේ නැති හැඳින්වීමක් ලැබීම පමණය.


⁣ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තොරතුරු ආශ්‍රයෙන් තැනුණු මේ වාර්තාව එළිදැක්වූ කාලය අපේ රටට මොනවට ගැළපේ. ඒ මේ ගෙවීයන්නේ ඊළඟ අයවැය වාර්තාව සකස් කරමින් පවතින කාලය බැවිනි. ලෝක බැංකුව විසින් මධ්‍යම ආදායම් ලබන රටක් හැටියට සලකද්දී ILO සංවිධානය විසින් ලෝකයේ අඩුම වැටුප් ගෙවන රටක් හැටියට හංවඩු ගැසුණු රට එතැනින් ගොඩගැනීමට ඊළඟ අයවැයට හැකි හෙයිනි.


ආණ්ඩුවේ නායකයන් වරින්වර කියන හැටියට රජයේ භාණ්ඩාගාරය ඉතිරී පැතිරී ගොස් තිබේ. ඉන් ස්වල්පයක් ගෙන ආණ්ඩුවට අයවැයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් ඉහළ දැමිය හැකිය. පෞද්ගලික අංශයේ වැටුප් ද ඉහළ දමන ලෙස නියම කළ හැකිය. ඒ ජාතික ජන බලවේගයට අලුත් දේවල් නොවේ. ඔවුන් බලයට පැමිණීමට පෙර කියා සිටියේ රජයේ සේවකයන්ට අවුරුද්දකට වැටුප් වර්ධක දෙකක් ලබා දෙන බවය. දැන් අවුරුදු දෙකකට පසුව හෝ ඒ පොරොන්දුව ඉෂ්ට කිරීමට කාලය පැමිණ තිබේ.


රටුන්ට අඩු වැටුප් ලැබීම බරපතළ ප්‍රශ්නයක් වී ඇත්තේ ජීවන වියදම ඉතා ඉහළ ගොස් ඇති නිසාය. මිනිසුන්ට බඩු භාණ්ඩ මිලදී ගැනීමට ක්‍රය ශක්තිය නැත. ජීවත්වීම අරගලයක් වී නැත්තේ රටේ සුළු පිරිසකට පමණය.


2024ට කලින් නම් රටේ සාමාන්‍ය ජනතාවගේ හද ගැහෙනා රාවය හොඳින් දන්නා පක්ෂය හැටියට සැලකුණේ ජනතා විමුක්ති පෙරමුණයි. එහෙත් දැන් නම් ජවිපෙ - ජාජබ ආණ්ඩුව හුදී ජනතාව⁣ ජීවත්වීමට කරන සටන අවබෝධ කරගෙන ඇති බවක් පෙනෙන්නට නැත. "ආණ්ඩුවට වසර දෙකයි - රටට සුබයි" යනුවෙන් ආණ්ඩුවේ නායකයන්ගේ ප්‍රමුඛත්වයෙන් මේ දිනවල ෆේස් බුක් ප්‍රචාරක ව්‍යාපාරයක් කරගෙන යන්නේ ඒ නිසාය.


ජාජබ බලයට පැමිණීමට කලින් ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට බොහෝ දේ කරන බවට පොරොන්දු විය. විදුලි බිල සියයට 30කින් අඩු කිරීම, ඉන්ධන මිල විශාල වශයෙන් පහත හෙළීම හා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවලට බදු ගැසීමෙන් වැළකීම ආදී වශයෙනි. එහෙත් ඒ පොරොන්දුවලට පමණක් සීමා විය. ආණ්ඩුව දැන් සිය ජීවනෝපාය කරගෙන ඇත්තේ 2024ට පෙර පැවැති ආණ්ඩුවල නායකයන් අල්ලස් කොමිසම ඉදිරියට ගෙන ඒමය. දූෂණ හා අක්‍රමිකතා කළ සියලුදෙනාට පක්ෂ පාට භේදයකින් තොරව දඬුවම් කළ යුතු බව අවිවාදිතය. එහෙත් මේ ආණ්ඩුව චෝදනා ගෙන එන්නේ සිය දේශපාලන විරුද්ධවාදීන්ට පමණය.


බාල ගල්අඟුරු ගෙන්වීමෙන් රටට බිලියන ගණනක අලාභයක් කළ අමාත්‍යවරයාටත්, වරායෙන් කන්ටේනර් 323ක් අනීතිකව පිටකළ අමාත්‍යවරයාටත්, භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම පිළිබඳ වගකිවයුතු අමාත්‍යවරයාටත් විරුද්ධවාදීන්ට ගත් දැඩි නීතිමය පියවර ගත් බවක් වාර්තා නොවේ.


බලයට පැමිණීමට කලින් ජාජබ නායකයන් කියා සිටියේ තමන් බලයට පත්වීමෙන් පසු රටේ සියලු දූෂණ හා අක්‍රමිකතා නතර කරන බැවින්ද, සිය විරුද්ධවාදීන් රටින් පිටකළ මුදල් නැවත ගෙනෙන බැවින්ද රට සංවර්ධනය කිරීමට ඕනෑතරම් මුදල් තිබෙනු ඇති බවය. එහෙත් දැන් රට ලෝකයේ අඩුම වැටුප් ලැබෙන රටක් හැටියට හංවඩු ගැසී තිබේ. ඒ තත්ත්වය වෙනස් කිරීමට මේ ආණ්ඩුව යමක් කරන්නේද, එසේ නම් ඒ කුමක්දැයි දැනගැනීමට රටවාසීන් කැමැත්තෙන් සිටිනවාට සැක නැත.

 

More News..