brand logo
logo
අතුරුදන් වූ නාවික හමුදා නිලධාරියා සොයා තවදුරටත් මෙහෙයුම්

අතුරුදන් වූ නාවික හමුදා නිලධාරියා සොයා තවදුරටත් මෙහෙයුම්

17 August 2026


මොරටුව අඟුලාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා තුන්වන දිනටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව නාවික හමුදාව පවසයි.


මුර සංචාරයක් අවසන් කර කොළඹ බලා යමින් සිටි නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් සෙනසුරාදා පෙරවරු 11.40ට පමණ මොරටුව අඟුලාන වෙරළේ සිට නාවික සැතපුම් 3ක් පමණ දුර මුහුදේදී අනතුරට ලක්ව තිබුණි.


එහි සිටි නාවිකයින් 12 දෙනාගෙන් 11 දෙනෙකු ප්‍රදේශයේ ධීවර ප්‍රජාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව සහ අඟුලාන පොලිසිය එක්ව සිදුකළ මුදාගැනීමේ මෙහෙයුමකදී බේරාගෙන ඇත. ඔවුන් මේ වනවිට නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වේ.


අතුරුදන් වූ අනෙක් නාවික නිලධාරියා සොයා අද (17) තුන්වන දිනටත් මෙහෙයුම් සිදුකෙරෙන අතර, මෙතෙක් ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.


මෙලෙස අතුරුදන්ව ඇත්තේ නාවික හමුදාවේ ලෙෆ්ටිනන්ට් නිලයේ සේවය කළ උදයප්‍රිය නමැති නිලධාරියා වන අතර, ඔහු බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.


මේ අතර, අනතුරට පත් නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩට ගැනීමේ කටයුතු ඊයේ (16) ආරම්භ කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදාවේ විශේෂඥ කිමිදුම් කණ්ඩායම් යොදවා තිබේ.


කෙසේ වෙතත්, මුහුදේ පවතින රළු ස්වභාවය සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් යාත්‍රාව ගොඩට රැගෙන ඒමේ කටයුතු අසීරු වී ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

 

More News..