බන්ධනාගාර ගැටුම් කුමන්ත්‍රණද?
10 August 2026
බන්ධනාගාර ගැටුම් කුමන්ත්‍රණද?
10 August 2026
මීගමු බන්ධනාගාරයේ ගැටුම අවසන් වන තෙක්ම රටට දකින්නට නොලැබුණු අධිකරණ අමාත්‍යවරයා කට ඇරියේ එය කුමන්ත්‍රණයක් දැයි සැකකරන බව කියමිනි. දැන් මහර, මැගසින්, කුරුවිට හා පල්ලන්සේන බන්ධනාගාරවල ගැටුම්වලින් අනතුරුව පාර්ලිමේන්තුව ඇමතූ මහජන ආරක්ෂක අමාත්‍යවරයාද කුමන්ත්‍රණ කතාව පුනරුච්ඡාරණය කළේය. ජවිපෙ හිටපු නායකයකු කලක් හැමදේකම කුමන්ත්‍රණයක් දකින්නකු ලෙස ප්‍රසිද්ධව සිටි අතර දැන් දැන් ජාජබ අමාත්‍යවරුන්ද ඒ චරිතය අනුකරණය කරන්නට පටන්ගෙන තිබේ.
අධිකරණ අමාත්‍යවරයාට විරුද්ධව ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය පෙන්වා පරාජය කළ වහාම බන්ධනාගාර ගැටුම් රැල්ලක් ඇතිවීම ලැජ්ජාවට කාරණයක් බව ඇත්තය. එහෙත් බන්ධනාගාර හා මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරුන් බන්ධනාගාර ගැටුම් ඉතිහාසය ගැන දැනීමක් නැත්තන් සේ හැසිරීම ඊටත් වඩා ලැජ්ජා සහගතය. ඒ තාක්ෂණය දියුණු අද කාලයේ අතේ ඇති ජංගම දුරකථනයෙන් දැනගත හැකි තොරතුරු වෙද්දීය.
ලෝක බන්ධනාගාර ඉතිහාසයේ කුප්‍රකට බන්ධනාගාර ගැටුම් රැලි ඇතිවූ අවස්ථා කිහිපයක් වාර්තා පොත්වල සඳහන්ය. 1970-80 දශකවලදී ඇමරිකා එක්සත් ජනපදයේද, අනතුරුව බ්‍රසීලයේද, අනූවේ දශකයේ මුල් භාගයේදී එක්සත් රාජධානියේද ඒ රටවල් පුරා බන්ධනාගාර ගැටුම් ඇතිවී තිබෙන බව දන්නෝ දනිති. එහෙත් ඒ රටවල බන්ධනාගාර භාර හෝ රටේ ආරක්ෂාව භාර හෝ කිසිවකු කුමන්ත්‍රණ න්‍යායයන් ඉදිරිපත් කළ බවක් නම් වාර්තා වී නැත.
ඒ අනෙකක් නිසා නොවේ. අපරාධ විද්‍යාවට අනුව බන්ධනාගාර ගැටුම් ඇතිවන්නේ අධික තදබදය, අවම පහසුකම් හා දරදඬු පාලනය වැනි කාරණා මුල් කරගෙන බව ඔවුන් දන්නා නිසා විය යුතුය. එහෙත් මේ රටේ බන්ධනාගාරවල තත්ත්වය ඉතා නරක බව පිළිගැනීමට අදාළ බලධාරීන් සූදානම් නැත.
අද ලෝකයේ ඉතා දියුණු යැයි පිළිගැනෙන රටවල්ද බන්ධනාගාර ගැටුම් ඇතිවන්නේ ඉහත කී හේතූන් නිසා යැයි පිළිගැනෙයි. බන්ධනාගාර ඉතිහාසයේ දරුණුම කැරැල්ල හැටියට සැලකෙන්නේ 1971 නිව්යෝක් ඇටිකා සංශෝධන මධ්‍යස්ථානයේ ගැටුමය. වැඩිම දින ගණනක් පැවති කැරැල්ල හැටියට සැලකෙන්නේ 1993 ඔහියෝ බන්ධනාගාරයේ දින එකොළහක් තිස්සේ පැවති ඝට්ටනයයි.
ඒ සෑම අවස්ථාවකදීම ඒ රටවල වගකිවයුත්තෝ තමන්ගේ පැත්තේ අඩුපාඩු හඳුනාගැනීමට ඒ අවස්ථාව කර ගත්තෝය. එහෙත් අපේ රටේ වගකිවයුත්තන් ගැටුම් ඇතිවීමට සැබෑ හේතූන්ට පිළියම් නොයොදා මෙසේ අනුන් පිට වගකීම පටවමින් යන ගමනෙන් සිද්ද වන්නේ කුමක්දැයි අනාවැකි කීම අසීරු නැත. ඒ නම් ඉදිරියේදී තවත් බන්ධනාගාර ගැටුම් ඇතිවීමට ඉඩප්‍රස්ථා තනාදීමය.
ලෝකයේ වෙනත් රටවල බන්ධනාගාර ගැටුම් දෙස බැලූ කල ඒ ඇතිවී තිබෙන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ගේ මුල්වීමෙන් බව පෙනී යයි. අපේ රටේද 1983 පටන් අද දක්වා ඇතිවූ බන්ධනාගාර ගැටුම් මෙහෙයවා තිබෙන්නේ බන්ධනාගාරගතව සිටින දරුණු අපරාධකරුවන් බව රහසක් නොවේ. දැන් තවත් පිරිසක් ඊට සම්මාදම් වෙමින් සිටිති.
ඒ නම් මත්ද්‍රව්‍ය වැරදිවලට බන්ධනාගාරගත වී සිටින පිරිස්ය. මේ වන විට බන්ධනාගාරවල සිටින 41,000 ක් පමණ වන ගණනින් 33,000 ක් පමණ මත්ද්‍රව්‍ය වැරදිවලට සිරගත කරනු ලැබූවන්ය. ඔවුන්ට බලපාන සුවිශේෂී ප්‍රශ්නද බන්ධනාගාර ගැටුම්වලට මුල් වී ඇති බව රහසක් නොවේ.
එක පැත්තකින් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට ඇබ්බැහි වූ රෝගීන් හැටියට සලකා පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ යුතු විශාල පිරිසක්ද බන්ධනාගාරගත කර සිටිති. තවත් පැත්තකින් තමන් අත්අඩංගුවට ගන්නා විට ළඟ තිබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය නිර්ණය කරමින් ලැබිය යුතු රස පරීක්ෂක වාර්තා අධික ලෙස ප්‍රමාදවීම හේතුවෙන් ඇප ලබාගත නොහැකිව සිටින පිරිස්ය. මේ උදවියට බන්ධනාගාරයේ අධික තදබදය හා මූලික පහසුකම්වත් නොලැබීම ඔවුන්ගේ අසහනය දෙගුණ තෙගුණ කිරීමට බලපා ඇති බව පැහැදිලිය.
මෙහිදී ආණ්ඩුවේ අඬුලුහුඬුකම් අඩුවක් නැතිව පෙනෙතත් විපක්ෂයටද මෙහි වගකීමෙන් නිදහස් වීමට බැරිය. එසේවීමට නම් ඔවුන් තමන්ගේ පාලන කාලවලදී බන්ධනාගාර වෙනස් කිරීමට කළ දෑ රටට කිව යුතුය. එහෙත් ආණ්ඩුවට මෙන්ම ඔවුන්ටද බන්ධනාගාර ප්‍රශ්න විසඳීමට කළේ කියන්නට දෙයක් ඇත්තේ නැත.
බන්ධනාගාර තදබදය අඩුකිරීමට හා සිරකරුවන්ට මූලික පහසුකම් ලබාදීමට කටයුතු කිරීම මේ ආණ්ඩුවට කරන්නට බැරි දෙයක් නොවේ. ඔවුන්ම කියන හැටියට නම් මේ වන විට භාණ්ඩාගාරයේ මුදල් දෝරේ ගලමින් තිබේ. ඉදින් බන්ධනාගාර ගැටුම් තවත් ඇතිවන්නට ඉඩ නොතබා ඒ මුදල් යොදවා කළ යුතු දෑ විසඳිය යුතු ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි රටුන් බලාපොරොත්තු වනවාට සැක නැත.

