ළමා දිනය සමරන්නට ළමයින් ඉතිරි කරමු
01 October 2024
ළමා දිනය සමරන්නට ළමයින් ඉතිරි කරමු
01 October 2024
වසරේ තුන්සිය හැටපස් දවසෙන් එක් දිනක් දරුවන් වෙනුවෙන් වෙන්ව ඇත්තේය. ඒ දිනය ‘ළමා දිනය’ ලෙසින් නම් කර ඇත්තේය. 1925 වසරේ ජිනීවාහි පැවැති සුබ සාධන පිළිබඳ ලෝක සමුළුවේදී ළමා දිනයක් ප්‍රකාශයට පත්වුවද ලොව සෑම රටක්ම එකම දිනයකදී මෙය සමරන්නේ නැත. ශ්‍රී ලංකාවේ අප අපට අනුව මේ දිනය ඔක්තෝබර් මස පළමු වැනිදා හෙවත් අද ය. මේ වෙනුවෙන් අද රටපුරා සැමරුම් බොහෝය. පාසල් මෙන්ම ළදරු පාසල්වල පවා අද මෙය නිමිත්තක් කරගනිමින් නේක විධ වැඩසටහන්ය. සැරසිලිය. සැණකෙළිය. නොයෙකුත් සමාගම් ව්‍යාපාර ආදියද අද දිනයේදී දරුවන් වෙනුවෙන් විශේෂ වූ ඉසව් පවත්වන්නේය. ඒ සියල්ල හොඳය. සම්ප්‍රදායක් පෙරට රැගෙන යෑම අරමුණු කර හෝ වෙළෙඳ අරමුණු පෙරදැරිව හෝ දරුවන් වෙනුවෙන් යම් විශේෂයක්, වින්දනයක්, විනෝදයක් එක් කරන්නේ නම් එය නරක නැත. එහෙත් මේ ළමා දින සැමරුම ස්වභාවික ද? එය එසේ නොවන්නේ නම් දරුවන් වෙනුවෙන් මෙලෙස දිනයක් වෙන්කර මේ කරන්නා වූ කටයුතු සියල්ල කෘත්‍රිමය.
පාසලට හෝ පෙර පාසලට මල් මල් ගවුම්, සරම් පොඩි කමිස පොඩි ඇඳගෙන එන්න යැයි කියා සිංදුවකට නැටූ පමණින්, කෑම බීම ටිකක් දී දිව, උදරය සන්තර්පනය කළ පමණින් මේ පුංචි උන්ට උන්ගේම දිනයක් තෑගි කිරීමට වැඩිහිටි අපට හැක්කේද? අප විසින් සෑම ඔක්තෝබර් මස 01 වැනිදාම ‘මවන’ ළමා දිනයක් වෙනුවට වසරේ සෑම දිනයක්ම මේ දරු පැටවුන් සතුටින් සිටින දිනයක් කිරීමට අපට හැකියාව ඇත්තේ නම් කෙතරම් අගනේද. ඔක්තෝබර් මස පළමුවැනිදාව දරුවන්ට විඳින්නට දී වැඩිහිටියන් ලෙසින් අප සැලසුම් කළ යුත්තේ වසරේ අනෙක් සෑම දිනයක්ම ඔක්තෝබර් පළමුවැනිදාවක් කරන්නේ කෙසේද කියාය. නමුත් වසරේ අනෙක් සෑම දිනයක්ම ළමා දිනයක් නොවන්නේ නම් පොඩි උන්ට අද දිනය සැනසෙන්නට දී වැඩිහිටි අපි එක පොදියට වැලඳගෙන ඒ පොඩිඋන් වෙනුවෙන් හැඬිය යුත්තේ නොවේද?
අද, පාසලේ ලෝක ළමා දින සැමරුම් හමාර වී දරුවා හැල්මේ දිවිය යුත්තේ හැන්දෑවේ තිබෙන උපකාරක පංතියට ය. හරකුන් මස් කඩයට දක්කන පරිද්දෙන්, මලානික වූ, වේදනාබර මුහුණින් යුත් දරුවන් අතින් ඇදගෙන හවස පංතිවලට යන අම්මලා කී දෙනක් අද පාසල් කාලයෙන් පසු දැකගත හැකිවේද? අවම වශයෙන් මේ විෂයමාලාවේ බරෙන් හෝ මේ අධ්‍යාපන තරගයෙන් හෝ දරුවෙක් මුදාගැනීමට නොහැකි රටක දරුවන් වෙනුවෙන් කළ හැකි දේ මෙන්ම දරුවන් වෙනුවෙන් කර ඇති දේද අල්පයකි. සිංහ කොඩිය දරන මේ ශ්‍රී ලංකාව නමැති රාජ්‍යයට ‘අපි අපේ දරුවන් වෙනුවෙන් සියලු යුතුකම් මහත් ඉහළින් ඉටුකරන්නෙමු’ යි ‘සිංහ නාද’ කළ හැක්කේද?
අපි අපේ දරුවන්ට බොහෝ දුරට උරුම කර දී ඇත්තේ අසහනය, ආතතිය, ආවේගය, කලකිරීම ආදී දෑය. අධ්‍යාපන ක්‍රමය විසින් මෙන්ම ආර්ථික ක්‍රමය විසින්ද සමාජ ක්‍රමය විසින්ද දරුවා වින්දිතයෙක් කර ඇත්තේය.
කුඹුරට ගොස් තාත්තා හෝ සීයා සමග එකතුව ‘දිය හොල්මනක්’ අටවා එය ක්‍රියාකරන අපූරුව විඳීමට වරම් නැති දරුවා ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය වෙනුවෙන් එය සෛද්ධාන්තිකව ඔළුව තුළට පුරවාගත යුතුය. පාසල හෝ ටියුෂන් පංතිය අවසන් වී පැමිණි මොහොතේ සිට රෑ දෙගොඩහක් වන තුරු ටීචර් පැවරූ ගෙදරවැඩ ටිකෙන් මිදිය නොහැකිව පොත පතෙන් ඔළුව අහකට ගැනීමට වරම් නොමැති දරුවා ‘හැන්දෑවක අසිරිය’ ගැන රචනා ලිවිය යුතුය. මේ අයුරින් දරුවන්ට කෘත්‍රිම මිනිසුන් බවට පත්වන්නට ඉඩ දී විෂය නිර්දේශය පමණක සපුරා අතපිසදා ගන්නා රටකය අප ළමා දිනය සමරනුයේ. සිරිත් මල්දමේ කවිවලින් ලබාදෙන උපදෙස් ජීවිතයට එන්නත් කර ගැනීම පිණිස දරුවා මෙහෙයවනු වෙනුවට සිරිත් මල්දමේ කවි කටපාඩම් කර විභාගයට ලියන ගිරවකු හදන රටකය අපි අද ළමා දිනය සමරනුයේ. උම්මග්ග ජාතකයේ මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥාව ජීවිතයට කාවද්දාගන්නා දරුවන් හදනු වෙනුවට උම්මග්ග ජාතකය ගැන විචාර කඩපාඩම් කරවා විභාගය නමැති විකාරයක සිරගත කළ ‘ගල් වැනි’ දරුවන් සිටින රටකය අප අද ළමා දිනය සමරනුයේ.
‘හොඳම දේ දරුවන්ට’ යැයි කියමින් මේ ආකාරයේ ‘කෝම්බ’ ගිල්වන අපි අවම වශයෙන් දරුවන්ට අවැසි රැකවරණය හෝ ආකල්පමය දායාද පිරිනමා ඇත්තේද?
මේ රටේ ළමා මව්වරුන් 2287ක් සිටින්නේ යැයි ඉකුත් වසරේ අගදී, එවක කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය වූ ගීතා කුමාරසිංහ කළ ප්‍රකාශකයක් හැන්සාඩ්ගතව ඇත්තේය. වයස අවුරදු 16ට අඩු ගැහැනු දරුවන් ප්‍රේම සම්බන්ධතා මත දූෂණයට ලක්වන අවස්ථා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බැවින් දෙමාපියන් දැඩි අවධානයෙන් සිටින්න යැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මෙයට මාස කිහිපයකට පෙර ඉල්ලීමක් කළේය. එසේම මේ වන විට පාසලේ හතේ පංතියේ සිට පිරිමි දරුවන් පමණක් නොව සමහරක් ගැහැනු දරුවන්ද තූල්, ඊ- සිගරට්, මත් පෙති ආදියෙහි ගොදුරු බවට පත්ව හමාරය.
කුමාර බ්‍රහ්මචරියාවේ අගය දන්නා, මතෙහි ආදීනවය දන්නා, පරාභවය හඳුනන දරුවෙක් බිහිනොකරන්නේ නම් මතු දිනයේ ‘ළමා දිනය’ සැමරීමට ළමයින් මේ රටේ ඉතිරිවේද යන්නත් පැනයකි.